මැලේසියාව, තායිලන්තය, ඉන්දුනීසියාව ආදී රටවල ප්‍රධාන වගා ක්‍රමයක් වන සෝජාන් ක්‍රමයට වගාකරන ලංකාවේ පළමුවන වගාබිම හෝලුවාගොඩ වෙල්යාය බව විශ්වාස කෙරේ. ගාල්ල බද්දේගම ප්‍රධාන පාරට මායිම් පිහිටා ඇති බෝපෙ පෝද්දල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මෙය වසර ගණනක් තිස්සේ පුරන්ව පැවති වෙල් යායකි. කරදිය ගැලීමත් වතුර බැස නොයාමත් නිසා වී වගා කිරීමට නොහැකිව එය අතහැර දමා තිබිණ.
මේ අතර වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණගේ ඉල්ලීමක් අනුව ලංකාවේ ගොවි රජා ලෙස මෙයට වසර කිහිපයකට පෙර සම්මාන ලැබූ ගාල්ලේ චන්ද්‍රලාල් අබේගුණවර්ධන සෝජාන් ක්‍රමයට වගා කිරීම සඳහා හෝලුවාගොඩ පුරන් වූ වෙල් යාය භාරගත්තේය.
කරදිය ගැලීම සහ වතුර බැස නොයාම නිසා වගා කිරීමට නොහැකි කුඹුරුවලට සුදුසුම වගා ක්‍රමය සෝජාන් ක්‍රමය බව කෘෂි විද්‍යාඥයන්ගේ මතයද වේ.
හෝලුවාගොඩ වෙල්යාය මේ වනවිට දිනකට රුපියල් ලක්ෂ ගණනින් ආදායම් ලබන සාර්ථක වගා බිමකි. මෙම ගොවිපළ ඉදිරිපිට දිනපතා උදෑසන කාලයේ දිගු පෝලිමකි. ඒ වසවිස නැති නැවුම් එළවළු, පළතුරු සහ පලා වර්ග මිලදී ගැනීමටය.
සෝජාන් වගා ක්‍රමය හඳුන්වාදුන් චන්ද්‍රලාල් අබේගුණවර්ධන අදහස් දක්වමින්:
මම ඉතාම සතුටු වෙනව මේ පුරන්ව තිබූ කුඹුරු යාය අද ඉතා සාර්ථක වගාබිමක් බවට පත් කිරීමට හැකිවීම ගැන. අවුරුදු ගණනක් මේ අක්කර සිය ගණනක විශාල කුඹුරු යාය පුරන්ව තිබුණේ කරදිය ගැලීමත් වතුර බැස නොයාමත් නිසයි. එවැනි භූමිවලට සුදුසුම ක්‍රමය මේ ජලය මතුපිට වගා කළ හැකි සෝජාන් ක්‍රමයයි. මැලේසියාව, තායිලන්තය, ඉන්දුනීසියාව ආදි රටවල මේ සෝජාන් වගා ක්‍රමය ඉතා සාර්ථකව කරනවා.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව මීටර් හතරක් පළලට මීටර් දෙසිය හතලිහක් දිගට නෙරි හදල දුන්නා. ඊටපස්සේ තවත් තරුණ පිරිසක් එකතු කරගෙන වගාව ආරම්භ කළා. මේකේ එළවළු පළතුරු පමණක් නොවෙයි කුකුළන් ඇති කිරීමත් මී මැසි ජනපද ඇති කිරීමත් කරනවා. එයට අමතරව මේ නෙරි (පාත්ති) අතර තිබෙන ජලයට මිරිදිය මාලු පැටව් ලක්ෂ ගණනක් මුදාහැර තිබෙනවා. කුකුළු කුඩුවල අපද්‍රව්‍ය ජලයට වැටුණ පසු ඇල්ගී හැදෙනවා. එයින් මාලු වර්ධනය වෙනවා ඔහු පැවසීය.
සාමාන්‍ය පොළවේ වගා කරනවාට වඩා මේ ක්රමයේ අස්වැන්න වැඩියි. අස්වැන්න වැඩි වීමට නම් රශ්මිය අවශ්‍යයි. ජලයේ රශ්මිය මධ්‍යම රාත්‍රිය වනතුරු තියෙනවා. උදේට හිරුඑළිය වැටෙනවා.
වැඩිදුරටත් විස්තර කළ චන්ද්‍රලාල් අබේගුණවර්ධන, අස්වැන්න නෙළන්න යන්නේ බෝට්ටුවෙනුයි. මේවාට කිසිම රසායනික පොහොර හෝ කාමිනාශක යොදන්නේ නැහැ. දැනට එළවළු වර්ග දහසයක්ද පැපොල් හා කෙසෙල්ද පලා වර්ගද වගාකර තියෙනවා. පළමු අදියර යටතේ අක්කර පහක මේ වගාව ආරම්භ කළේ ගිය අවුරුද්දේ ඔක්තෝබර් දහඅටවැනිදායි. මූලිකව මම රුපියල් ලක්ෂ දහයකට අධික මුදලක් යෙදෙව්වා. ඒ මුදල මේ වනවිට මට ලබාගන්න පුළුවන් වුණා. දැන් දවසකට රුපියල් ලක්ෂයක විතර ආදායමක් තිබෙනවා. යනුවෙන්ද පැවසීය.
මේ නිසා තරුණ පිරිසකට රුකියා ලබාදීමට හැකිවුණා වගේම පාරිභෝගික ජනතාවට වසවිස නැති පිරිසිදු එළවළු පළතුරු ලබාදීමටත් හැකිවුණා. මේ වෙල්යායේ තවත් කොටසක් තියෙනවා. එම කොටසෙත් නෙරි සකස් කරලයි තියෙන්නේ. ඒ ටික වගා කරන්න තරුණයන් කිහිපදෙනකුට දෙනවා. මේ හරියේ මොණරු ගිරව් විශාල වශයෙන් ඉන්නවා. නමුත් මේ වගාවට කිසිම හානියක් නැහැ.
මේ කාර්යය සඳහා තමන්ට සහාය දුන් සියලුදෙනාට ස්තුති කළ ඔහු, ඉදිරියේදිත් මේ වගේ පුරන් කුඹුරු සෝජාන් ක්‍රමයට වගා කිරීමට බලාපොරොත්තු වෙනවා. අපට කිරීමට නොහැකි කිසිවක් නැහැ. උනන්දුව හා ඒ පිළිබඳව කැපවීමක් අවශ්‍යයි. යනුවෙන් වැඩිදුරටත් කියා සිටියේය.
BBCයෙන් උපුටාගැනීමකි.