ඇමරිකාවේ මීළඟ ජනාධිපතිවරයා ලෙස පත්වීමට නියමිත ජෝ බයිඩ්න් හා ඔහුගේ බිරිඳ බලු සුරතලුන්ට ප්‍රියකරන දෙදෙනෙකි. විවේක කාලයේ බල්ලන් හා සෙල්ලම් කිරීම ඔවුන්ගේ විනෝදාංශයයි. ඒ අනුව බයිඩ්න් සිය සුරතලුන් දෙදෙනාගෙන් එකකු වන මේජර් සමග කෙළිදෙලෙන් සිටියදී පය ලිස්සා ගොස් බිම ඇදවැටී තිබේ. ඉන් බයිඩ්න්ගේ පාදයේ අස්ථියක් බිඳී ගියේය.ජනාධිපතිවරයාගේ පාදයේ වළලුකර ඇඹරීමකට ලක්ව ඇතැයි ඔහු පරීක්ෂා කළ වෛද්‍යවරු ප්‍රකාශ කළේය. චෙලවෙයාර්හි නෙවාර්ක් ප්‍රදේශයේ අස්ථි ශෛල්‍ය වෛද්‍යවරයකු හමු වූ බයිඩ්න් ඔහුගෙන් ප්‍රතිකාර ලබාගෙන ඇත.
අනතුරුව සිදු කරන ලද ස්කෑන් පරීක්ෂාවට අනුව ඔහුගේ දකුණු පාදයේ අස්ථි දෙකක් ආශ්‍රිතව කුඩා ප්‍රමාණයේ බිඳීමක් සිදුවී ඇතැයි වෛද්‍ය නිගමනය විය.
මේ අනුව සති කිහිපයක කාලයක් බයිඩ්න්ට බූට් සපත්තු පැලඳ සිටීමට සිදුවනු ඇති බව වෛද්‍ය මතයයි. ඒ අස්ථිවල භග්න තවදුරටත් පැතිරී යාම වළක්වා ගැනීම සඳහාය.
වයසට යාමත් සමග අස්ථි බිඳීමේ අවස්ථා සුලභය. මේ වනවිට 78 වැනි වියේ පසුවන ඔහු සිය නිල රාජකාරී ආරම්භ කරන්නේ ලබන ජනවාරියේදීය. ඒ වනවිට ඔහු ඇමරිකාවේ ජනාධිපති පදවියට පත් වූ වයස්ගතම පුද්ගලයා ලෙසද වාර්තාවක් තබනු ඇත. බයිඩ්න්ගේ ඡන්ද ව්‍යාපාරය අතරතුර මෙය විපක්ෂ කණ්ඩායම් විසින් විවේචනය කළ අතර ඔහු ඒවා ප්‍රතික්ෂේප කළේ සේවය කිරීම සඳහා වයස ප්‍රශ්නයක් නොවන බව පවසමිනි.
මේජර් සමග සෙල්ලම් කරන්නට ගොස් පාදය බිඳුණු බයිඩ්න්ට මේ වනවිට බලු සුරතලුන් දෙදෙනෙක් ඇත. 2008 වසරේ මැතිවරණය අවසන් වූ පසු ඔවුන්ගෙන් පළමු සුනඛයා වන ‘චෑම්ප්’ නිවසට රැගෙන ආවේය. බයිඩ්න් සමග එක ගොඩේ ලෙස්සා වැටුණු ‘මේජර්’ව රැගෙන ආවේ 2018 වසරේදීය. ඔවුන් දෙදෙනාද ධවල මන්දිරයට රැගෙන යාම ජෝ හා ජිල් යුවළගේ අපේක්ෂාවය. එසේම මේ සුරතලුන් සමග බළලකුද ජනාධිපති මැදුරට ගෙන යාමට ඔවුන් අදහස් කර තිබේ.
බයිඩ්න්ගේ සෞඛ්‍ය තත්ත්වය හා වයස පිළිබඳව මැතිවරණ සමයේ චෝදනා එල්ල වූයේ සිය රුධිර කොලෙස්ටරෝල් මට්ටම පාලනය කර ගැනීම සඳහා බයිඩ්න් ස්ටැටින් පෙති පාවිච්චි කරන බව පවසමිනි.
‘සිය රාජකාරි කටයුතු නියමාකාරයෙන් ඉටු කිරීමට හැකි යහපත් සෞඛ්‍ය තත්ත්වයක් ඔහුට තිබෙනවා.’’ පසුව බයිඩ්න්ගේ වෛද්‍යවරු ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පැහැදිලි කරමින් ප්‍රකාශ කර තිබේ.