කෝවිඩ් 19 වයිරසය මර්දනය සදහා චීනයේ නිපදවූ සිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ තුනක් පෙබරවාරි මැද භාගයේදී ශ්‍රී ලංකාවට බාර දෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ඊයේ (27) නිවේදනය කළේය.
චීනයේ සිනෝෆාම් ඖෂධ සමාගම නිපදවූ එම කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 3 චීන රජයෙන් ශ්‍රී ලංකාවට ප්‍රදානයක් ලෙස ලබාදෙන්නක් බවද චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් කියා සිටී.
මෙම සිනෝෆාම් එන්නත මේවන විටත් චීනය , එක්සත් අරාබි එමීර් රාජ්‍යය , සර්බියාව , බහරේන් , ජෝර්දානය , ඉරාකය , පකිස්ථානය ඇතුළු රටවල් කිහිපයක් මෙම එන්නත ජනතාවට ලබාදීම සඳහා අනුමැතිය ලබාදී ඇතැයි එම තානාපති කාර්යාලය පෙන්වා දේ.
තවද සීෂෙල්ස් ජනාධිපති , බහරේන් අගමැති , ජෝර්දාන් අගමැති , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගමැති ඇතුළු ලොක නායකයින් රැසක් මෙම එන්නත ලබා ගෙන ඇති අතර පෙරේදා (26) දිනය වන විට මෙම එන්නත කිසිදු අතුරු ආබාධයක් නොමැතිව මිලියන 20 අධික පිරිසක් ලබා ගෙන ඇතැයිද චීන තානාපති කාර්යාලය කියා සිටී.
චයිනා නැෂනල් පාමසූටිකල් පුද්ගලික සමාගම නිපදවන සයිනොපාම් එන්නත රටවල් ගණනාවක තුන්වන අදියරේ පරීක්ෂණ මට්ටම පසුකර ඇති අතර මෙම පරීක්ෂණවලදී කොවිඩ් ආසාදනයවීම වැළැක්වීම සම්බන්ධයෙන් සියයට 79 ත්, සියයට 86ත් අතර ඵලදායීතාවයක් පෙන්වා දී ඇති එන්නතක් යැයිද චීන තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.
තිළිණි ද සිල්වා