ගම්පොළ – හෙම්මාතගම ලංගම බස් රථයේ වැටී තිබූ රුපියල් ලක්ෂ දෙකහමාරක් පමණ වටිනා රන් ආභරණ සහිත කුඩා බෑගය නැවත අයිතිකාරියට ලබා දුන් කොන්දොස්තර මහතකු පිළිබඳ පසුගියදා කාගේත් කතාබහට ලක් විය
.
හදිසි අවශ්‍යතාවයක් හේතුවෙන් උගස් කර තැබූ රන් ආභරණ උගසින් බේරා හිත නිදහස් කරගත් ධනුෂ්කා සංජීවනීගේ හිත ගිනි ගත්තේ රන් ආභරණ සහිත කුඩා බෑගය තම අත්බෑගයේ නොමැති බව දැනගත් මොහොතේය. ඇය නොසන්සුන් වූවාය. විදේශගතව සිටින තම ආදරණීය මව විසින් එවන ලද මුදල්වලින් ජනවාරි පළවැනිදා උදෑසනින්ම බැංකුවට ගොස් උගසින් බේරාගත් ආභරණ ගැන ධනුෂ්කාට තිබුණේ විශාල සතුටකි. නමුත් එක මොහොතකින් ඒ සියල්ල සුණු විසුණු වී ගියේය. ඇය වහාම තමා ගම්පොළ නගරයේ සිට නිවෙසට ආ ලංගම බස් රථයේ කොන්දොස්තර මහතාගේ දුරකථන අංකයට ඇමතුමක් ගත්තාය. කවුරුත් ඒ කොන්දොස්තර මහතාට කතා කරන්නේ අනුර මාමා ලෙසිනි.
මම ගම්පොළ ඩිපෝවේ අවුරුදු විසි එකක් වැඩ කරනවා. එයින් අවුරුදු දහතුනක්ම හෙම්මාතගම – ගම්පොළ බස් මාර්ගයේ තමයි සේවය කරන්නේ. ඒ නිසාම මේ පළාතේ ඉන්න හැමෝම වගේ මාව හොඳට හඳුනනවා. 2021 ජනවාරි මාසේ පළවැනිදාත් මම සුපුරුදු පරිදි බස් රථයේ රාජකාරි කළා. හවස තුනයි තිහට පමණ හෙම්මාතගම සිට අපි ගම්පොළට ආවා. ඒ වන විටත් බස් රථයේ දහ දෙනෙක් පමණ හිටියා. ඒ වෙලාවේදී මාව හඳුනන දුවෙක් මට දුරකථනයෙන් කතා කළා. අනේ.. අනුර මාමා බස් එකේ රත්තරන් බඩු වගයක් වැටිලා තියෙනවද? කියලා ඇහුවා. ඒ වෙලාවේම මම බස් එකට නැගලා බැලුවා. හැබැයි ඒ වෙලාවේ බස් එකේ ඒවා තිබුණේ නැහැ. බස් එකේ කාටවත් මම හොයන දේ ගැනවත් කිව්වේ නැහැ. මම ආයෙත් ඒ දුවට කතා කරලා දුව.. මම හෙව්වාට හම්බ වුණේ නැහැ. මම හවසට බස් එක අතුගාලා සුද්ද කරද්දි ආයෙත් හොඳට බලලා තිබුණොත් දුවට කියන්නම් කියලා කිව්වා.
ගම්පොළ – හෙම්මාතගම ලංගම බස් රථයේ කොන්දොස්තර මහතා වන පී.පී. අනුර ප්‍රියන්ත කුමාර මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.
අනුර දවසේ රාජකාරිය අවසන් කර ඩිපෝවට පැමිණියේය. ඔහු සෑම දවසකම බස් රථය සුද්ද පවිත්‍ර කළේය. තමන්ට දුරකථනයෙන් ඇමතූ යුවතිය අසුන්ගෙන සිටියේ බස් රථයේ තුන්වැනි අසුන් පේළියේ යැයි අනුරට හොඳ හැටි මතකය. ඒ නිසාම ඔහු ඒ අවට වැඩියෙන් පරීක්ෂා කළේය. ඔහු කූරක් යොදාගනිමින් ඒ අසුන අවට ද පරීක්ෂා කළේය. එක්වරම ඉතා කුඩා බෑගයක් අසුන අස්සට වන්නට ඇති බව ඔහුට හැඟී ගියේය.
ඒ කුඩා බෑගය සීට් එක අස්සේ හිරවෙලයි තිබුණේ. මම ඒක කූරෙන් හෙමිහිට එළියට ගත්තා. ඒ අර දරුවාගේ රත්තරන් ආභරණයි. ඒකෙ මාල දෙකක්, පෙන්ඩන්ට් දෙකක් සහ බ්‍රේස්ලට් එකක් තිබුණා. මම ඉක්මනට ඒ දුවට කෝල් කරලා රත්තරන් බඩු ටික තියෙනවා. හෙට හෙම්මාතගමට එන්න මම දෙන්නම් කියලා කිව්වා. අනුර ප්‍රියන්ත වැඩිදුරටත් දේශයට පැවසීය.
පසුවදා උදෑසනින්ම ධනුෂ්කා සංජීවනී හෙම්මාතගම බස් නැවතුම්පළට පැමිණ සිටියාය. අනුර ප්‍රියන්ත තවත් රියැදුරු සහ කොන්දොස්තර මහතුන් පිරිසක් ඉදිරියේ ලක්ෂ දෙකහමාරක් පමණ වටිනා රන් ආභරණ බෑගය ධනුෂ්කාට ලබා දුන්නේය.
අනේ පින් සිද්ධ වෙනවා මාමේ.. මම මේක නැතිවෙයි කියලා බයෙන් හිටියේ. බැංකුවෙන් බේරගෙන ගෙදර යන ගමනුයි මෙහෙම වුණේ. ගොඩක් පින් ධනුෂ්කා සංජීවනී කාගේත් ඉදිරියේ අනුර ප්‍රියන්ත මහතාට ස්තූති කළාය.
අවුරුදු දහ තුනක කාලයක් සේවය කළ මේ පළාත අනුර ප්‍රියන්තට ගම වැනිය. ඒ තරමටම මේ ගමේ මිනිසුන් ඉතා සමීපය. තම රන් ආභරණ නැතිවීමෙන් ධනුෂ්කා ලබා දුන් මුල්ම දුරකථන ඇමතුම සම්බන්ධව අනුර කිසිවකුට කීවේ නැත. නමුත් රන් ආභරණ ලැබුණු සැණින් ඔහු බස් රථයේ රියැදුරු ලෙස සේවය කරන නිහාල්ට මේ බව සැල කළේය.
අපි හෙට උදේට ඒක අයිතිකරුවාට දෙමු බස් රථයේ රියැදුරුගේ අදහස වූයේ ද එයමය.
ඒ දරුවා අපේ බස් එකේ ඉස්කෝලෙත් ගිහින් තියෙනවා. ඒ නිසා ඒ හැම කෙනෙක්ම මට හොඳට මතකයි. මට දැන් වයස අවුරුදු හතළිස් දෙකයි. මම විවාහකයි. එදා මම ගෙදර ගිහින් මගේ බිරිඳට මට පළවැනිදාම රත්තරන් බඩු ටිකක් හම්බ වුණා. අපේ තියෙන ප්‍රශ්න ටික දැන් විසඳගන්න පුළුවන් කියලා බොරුවට කිව්වා. ඒ වෙනකොටත් මම අර දුවට රත්තරන් බඩු ලැබුණා කියලා කියලත් ඉවරයි. මම රත්තරන් බඩු ගැන කිව්ව ගමන් දාන්න ඔය රත්තරන් බඩු බෑග් එකට. ඔයා ළඟ ඔය රත්තරන් බඩු මාස එකහමාරක් විතර තියාගන්න. අයිතිකරුවා ඒවි. එයාට දෙන්න. අනුන්ගේ එකක් ගන්න එක පව්. කියලයි බිරිඳ කිව්වේ. ඇත්තටම අපිටත් ආර්ථික ප්‍රශ්න තියෙනවා. නමුත් මම වගේම මගේ බිරිඳ හිතන විදිහ ගැන හිතුවාම ඇත්තටම මට හරි සතුටක් දැනුණා. යැයි අනුර ප්‍රියන්ත මහතා වැඩිදුරටත් පැවසීය.
තමන් මෙන් තම බිරිඳ එසේ සිතුවත් ඇතැමුන් අපරාදේ දුන්නේ.. ලැබුණේ නෑ වගේ තියාගන්නයි තිබුණේ යැයි නොකීවාද නොවේ. නමුත් තව කෙනකුගේ දුකක් තමන්ගේ සතුට කර ගන්නට අනුර අකැමැති විය. මුදලට, රන් ආභරණවලට වඩා ගම්පොළ – හෙම්මාතගම අතර ජීවත් වන මිනිසුන්ගේ මනුස්සකමට අනුර ප්‍රතිඋපකාර ලබා දුන්නේය. අනුරගේ මවගේත් පියාගේත් මළගම දා මේ ගමේ මිනිසුන්ගෙන් ලැබුණු උදව් උපකාර අනුරට අමතක නැත. හෙම්මාතගම – ගම්පොළ වැසියෝ බොහොමයක් ඒ මළගම් දෙකටම සහභාගී වූහ. ඒ නිසාම අද අනුර මේ හෙම්මාතගම – ගම්පොළ අතර මිනිසුන්ගේ හොඳ මිතුරෙකි. බොහෝ දෙනා %අනුර මාමා^ යැයි ආමන්ත්‍රණය කරන්නේ ද ඒ හිතවත්කම නිසාමය.
ගම්පොළ නගරයෙන් අවශ්‍ය කරන ඖෂධ, පොත්පත් මෙන්ම වෙනත් භාණ්ඩ ගෙන්වා ගැනීමට උදව් උපකාරයක් ඉල්ලූ සැණින් ඔහු ඒවා ඉටු කළේය. මේ නිසාම බොහෝ අයගේ දුරකථනය අංක අතරේ අනුරගේ දුරකථන අංකය අනිවාර්ය විය.
මීට පෙරත් මුස්ලිම් කාන්තාවකගේ තැල්ල බස් රථයේ වැටිලා තිබිලා මම ඒක ගෙදරටම ගිහින් දුන්නා. ඒ වගේම තව මහත්තයෙක්ගේ රුපියල් පනස් දහසක් තිබුණු මුදල් පසුම්බියක් මම බස් රථයේ තිබිලා ඇහිලුවා. එයා නම් බස් එකට හොයාගෙන ආවා. ඒකත් මම ඒ මනුස්සයාට ලබා දුන්නා. මට අනුන්ගේ දේවල් වැඩක් නැහැ. අපි හැමෝම ජීවත් වෙන්නේ හරි අමාරුවෙන්. එහෙම අමාරුවෙන් හම්බ කරගත්තු සල්ලි, රත්තරන් බඩු, වටිනා දේ නැතිවෙද්දි දැනෙන දුක මට තේරෙනවා. ඒ හැමදේටම වඩා මනුස්සකම වටිනවා කියලා මම දන්නවා. යැයි පී.පී. අනුර ප්‍රියන්ත කුමාර මහතා කීය.
මේ කොන්දොස්තර මහත්තයා මීට පෙරත් මේ විදිහට රත්තරන් බඩු වගයක් හම්බවෙලා අයිතිකරුවන්ට දීලා තියෙනවා. එදාත් මේ මහත්තයා මට දුරකථන ඇමතුමක් දීලා රත්තරන් බඩු වගයක් හම්බ වුණා. ඒකෙ අයිතිකාරියක් ඉන්නවා. මම ඒක ඒ කෙනාට දෙන්නද? මහත්තයා කියලා ඇහුවා. මමත් කිව්වේ අනිවාර්යෙන්ම දෙන්න කියලයි. පහුවදාම ඒ රත්තරන් බඩු ටික අදාළ තැනැත්තියට දීලා තිබුණා. මේ කොන්දොස්තර මහත්තයා අපේ ඩිපෝවට පමණක් නෙමේ මුළු මහත් සමාජයටම ආදර්ශයක්. යැයි ගම්පොළ ඩිපෝ කළමනාකරු කේ.ජී. නවරත්න බණ්ඩාර දේශයට අදහස් දක්වමින් පැවසීය.
දිශානි ජයමාලි කරුණාරත්න