දුම්රිය, බස් රථ, පාසැල් වෑන් හා ටැක්සි සේවා ඇතුළු මෙරට සියලු ප්‍රවාහන සේවාවන් එක් ඩිජිටල් තලයකට ගෙන ඒම හරහා මගී පහසුව ඇති කිරීම පිළිබඳ ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේදී සාකච්ඡා වී තිබෙනවා.
එම අනු කමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා.
ඊට මෙරට ප්‍රවාහන ක්ෂේත්රය හා සම්බන්ධ පාර්ශ්ව කිහිපයකම නියෝජිතයින් සහභාගී වූ අතර, මේ වනවිට ප්‍රවාහන ක්ෂේත්රයේ පවතින ගැටලු පිළිබඳව ඒ ඒ පාර්ශවවල අදහස් ලබාගැනීම එහිදී සිදුකෙරුණා.
ඉන්ධන මිල ඉහළ යාම, වාහන ආනයනයට පනවා ඇති සීමා සහ වාහන අමතර කොටස් සම්බන්ධයෙන් පනවා ඇති සීමා හේතුවෙන් දැඩි අපහසුතාවන්ට මුහුණ පෑමට සිදුව ඇති බවයි මෙහිදී ශ්‍රී ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය, ත්‍රීරෝද රථ සංගමය, පාසල් ළමුන් ප්‍රවාහන සංගමය ඇතුළු ප්‍රවාහන සේවා නියෝජිතයින් පෙන්වා දෙන්නේ.
විශේෂයෙන්ම වාහන ටයර ඇතුළු අමතර කොටස් වල මිල සියයට 300කින් පමණ ඉහළ ගොස් ඇති බවයි ඔවුන් කියා සිටියේ. එසේම, වාහන අමතර කොටස් හිගය හේතුවෙන් බස් රථ, පාසැල් වෑන් රථ සහ ත්‍රී රෝද රථ ඇතුළු ප්‍රවාහනය සඳහා භාවිත වන රථ වාහන අඩුවෙමින් පවතින බවද එම නියෝජිතයින් පෙන්වා දුන්නා.
මෙහිදී මෙම සියලු තත්ත්යන් පිළිබඳ අවධානය යොමු කරමින් යෝජනා කිහිපයක් කමිටුව විසින් ඉදිරිපත් කරන බව අනු කමිටු සභාපති පාඨලී චම්පික රණවක ප්‍රකාශ කළා. ඒ අනුව වැදගත් යෝජනාවක් ලෙස මගී පහසුව ඇති කිරීම සඳහා මෙරට සියලු ප්‍රවාහන සේවාවන් එක් ඩිජිටල් තලයකට ගෙන ඒම යෝජනා කරන බවයි ඔහු කියා සිටියේ.
මේ අනුව මෙම සියළු යෝජනාවල එකතුවක් දෙසැම්බර් මස ජාතික සභාවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.