මේ වන විට ලොව බොහෝ රටවල් කාබනික ආහාරවලට නැඹුරු වෙමින් සිටී. විශේෂයෙන්ම සංවර්ධිත රටවලින් කාබනික ආහාර සඳහා ඇත්තේ ඉහළ ඉල්ලුමකි. එසේම කාබනික ආහාරවලට රසායනික පොහොර යෙදූ ආහාරවලට වඩා ඉහළ මිලක් ද ලැබේ. එපමණක් නොව කාබනික ආහාරවල පෝෂණ අගය, රසායනික පොහොර යෙදූ ආහාරවලට වඩා ඉතා ඉහළය. කාබනික පොහොර යෙදූ විට පලදාව ද වැඩිය. රසායනික පොහොර යොදනවාට වඩා වැඩි පලදාවක් කාබනික පොහොර යෙදීමෙන් ලබා ගත හැකි බව පරීක්ෂණවලින් තහවුරු වී තිබේ.
වර්තමානය වන විට මිනිසා පරිභෝජනය කරන ආහාරවලට, පානය කරන ජලයට පමණක් නොව හුස්ම ගන්නා වාතයට ද විවිධ අන්දමෙන් වස විස මුසු වී ඇත. නීරෝගි සෞඛ්‍යසම්පන්න ජාතියක් වෙනුවට සෞඛ්‍ය අතින් දිනෙන් දින පිරිහෙන ජාතියක් බිහි වීමට එයම හේතුවක් වී ඇති බව අමුතුවෙන් කිව යුතු නැත. විශේෂයෙන්ම කෘෂි නිෂ්පාදනවලට රසායනික ද්‍රව්‍ය අඩංගු පොහොර, කෘමිනාශක, වල්නාශක යෙදීම මිනිසා රෝගි කරවීමට හේතු වන බැවින් වස විසෙන් තොර කාබනික ගොවිතැන සඳහා මේ වන විට ලෝකයේම වැඩි අවධානයක් හිමි වී ඇත. ඒ අනුව කාබනික කෘෂිකාර්මික ක්‍රම අන්තර්ජාතික වශයෙන් පාලනය වන අතර බොහොමයක් ජාතීන් විසින් කාබනික ගොවිතැන නීතිමය වශයෙන් බලගන්වා තිබීම ද විශේෂත්වයකි.
ගොවිතැන්කරණයේදී, සැකසීමේදී, බෙදාහැරීමේදී හෝ පරිභෝජනයේදී කාබනික කෘෂිකර්මාන්තයේ ක්‍රියාව වන්නේ පසෙහි සිටින කුඩාම ජීවියාගේ සිට මනුෂ්‍යයා දක්වා ජෛව පද්ධති හා ජීවීන්ගේ සෞඛ්‍ය වැඩි දියුණු කිරීමයි. බොහෝවිට සාම්ප්‍රදායික රසායනික ගොවිතැන්කරණය සමඟ වෙනස්කම් දක්වන කාබනික ගොවිතැන්කරණය තිරසර කෘෂිකර්මාන්තයේ උප අංශයක් ලෙස ද සැලකිය හැකිය.
ස්වාභාවික පෝෂ්‍ය පදාර්ථ
කාබනික පොහොර නිපදවන්නේ කාබනික අපද්‍රව්‍යවලිනි. ගස්වල කොළ, දිරා යන වෙනත් කොළ වර්ග, අප ආහාරයට ගන්නා එළවළු, පලතුරු ඇතුළු ශාකවල දිරා යන කොටස්, පිළියෙළ කරන ආහාර වර්ග, මිනිස් සහ සත්ත්ව මලපහ වැනි දේ කාබනික අපද්‍රව්‍යවලට අයත්ය. විශේෂයෙන්ම ගොම පොහොර, එළු පොහොර කාබනික පොහොර නිෂ්පාදනයේදී යොදාගත හැකිය. මෙයාකාරයෙන් බලන විට කාබනික පොහොර යෙදූ ආහාර ද්‍රව්‍යවල ඇත්තේ මිනිස් සිරුරට අහිතකර නොවන ස්වාභාවික පෝෂ්‍ය පදාර්ථයන්ය.
ශාකවල මුල් මඟින් පොළොවෙන් උරා ගන්නා, පැළෑටි සහ ගහකොළට අවශ්‍ය කරන පෝෂ්‍ය පදාර්ථ කොතෙකුත් ඇත. එම ශාක බැක්ටීරියා, දිලීර මඟින් වියෝජනය වූ විට එකී පෝෂ්‍ය පදාර්ථ නැවත පසට එකතු වේ. මෙම තත්ත්වය උපයෝගි කර ගනිමින් සාමාන්‍යයෙන් ගෙවතු වගාවේදී යොදාගැනීම සඳහා ස්වාභාවික ආහාර ද්‍රව්‍ය, ශාක කොටස් යොදා ගෙන, පහසු ක්‍රමවේද අනුගමනය කරමින් කොම්පෝස්ට් පොහොර නිපදවා ගන්නා ආකාරය බොහෝ ගෙවතු වගාවලදී දැකගත හැකිය.
එසේම කාබනික පොහොර නිෂ්පාදනය මහා පරිමාණයෙන් සිදු කොට රට රටවලට අලෙවි කරන කර්මාන්ත ශාලා ද ඇත. ගංගා ඇළ දොළවල වැඩි වශයෙන් වැවී ඇති විට සුද්ද කොට ඉවත් කරන පෙඳ, පාසි, සැල්වීනියා වැනි ජලජ පැළෑටි ද කාබනික පොහොර නිපදවීමට යොදා ගැනේ. එසේ ම නෙළා ඉවත ලන වල් පැළෑටි ද යොදා ගනී.
රසායනික සංයෝග
රසායනික පොහොර, රසායනාගාර පරීක්ෂණවලට අනුව කර්මාන්ත ශාලාවල නිපද වේ. බොහෝ විට ඒ සඳහා යොදා ගන්නා රසායනික සංයෝග, ජලය මුසු වූ විට පසේදී මුදා හැරේ. මේ සංයෝග ශරීරයට විෂ සහිතය. කිසිදු රසායනික පොහොර වර්ගයක් මිනිස් ශරීරයට සුදුසු නැත. මෙම පොහොර වර්ග පොළොවට උරා ගත් පසු එහි ඇති පෝෂ්‍ය පදාර්ථ ශාක මුල් මඟින් උරා ගැනීම සිදු වේ. යම් හෙයකින් පසේ සිටින ක්ෂුද්‍ර ජීවීන් මෙම රසායනික ද්‍රව්‍යවලට ගොදුරු වුව හොත් විනාශ වී යා හැකිය. ඒවා මිනිසුන්ට මෙන්ම පාංශු ජීවීන්ට ද ක්ෂුද්‍ර ජීවීන්ට ද අහිතකරය. පසේදී රසායනික පොහොර හේතුවෙන් වගාවට අතිශයින්ම අවශ්‍ය වන ක්ෂුද්‍ර ජීවීන් සහ පාංශු ජීවීන් ද විනාශ වීමක් සිදු වේ. පස බුරුල් කරමින් පස සරු කරන, භෝග වගාවන්ට ඉතාමත් හිතකර ගැඩවිල් පණුවා ගොවියාගේ මිතුරාය. එවැනි වගාවට හිතකර ජීවීන් රසායනික පොහොර හේතුවෙන් විනාශයට පත්වීම විශාල පාඩුවකි. රසායනික පොහොර ශාක මුල් මඟින් අවශෝෂණය කර ගන්නා අතර ඒවායේ ඇති රසායනික ද්‍රව්‍ය ආහාර මඟින් ශරීරගත වීම අද වන විට මානව වර්ගයා මුහුණ පා සිටින බරපතළ ගැටලුවකි. විශේෂයෙන්ම කැරට්, රාබු, අර්තාපල් වැනි ආහාර ගැනීමේදී අලවලට අවශෝෂණය වූ රසායනික ද්‍රව්‍ය වැඩි වශයෙන් ශරීරගත වීමේ හැකියාවක් ඇත.
අවදානම් තත්ත්වයන්
එහෙත් කාබනික පොහොර භාවිතයෙන් නිපද වූ ආහාර පරිභෝජනයේදී මෙවැනි අවදානමක් නැත. කෙසේ වෙතත් කාබනික පොහොර භාවිතයේදී දැකිය හැකි අවදානම් තත්ත්වයන් පිළිබඳව ද අප දැනුම්වත් විය යුතුය. කාබනික පොහොර සඳහා යොදා ගන්නා වියෝජනය වන නැතහොත් කුණු වී යන කාබනික ද්‍රව්‍ය අතර වයිරස්, බැක්ටීරියා, දීලීර රෝග ඇති විය හැකිය. එවැනි රෝග ඇති කාබනික ද්‍රව්‍ය යොදාගෙන නිපද වූ කාබනික පොහොර යෙදූ ශාකවලට ද එම රෝග පැතිරීමේ අවදානමක් ඇත. ශාකවලට පැතිරෙන එවැනි රෝග ඇතැම් විට මනුෂ්‍යන්ට ද අහිතකර බලපෑම් එල්ල කළ හැකිය. එවැනි අවදානමක් නොගෙන සිටීමට නම් කාබනික පොහොර නිෂ්පාදනයේදී යොදාගන්නා කාබනික ද්‍රව්‍ය පරීක්ෂාවට ලක්කළ යුතුය. අප නිවෙසේදී කාබනික පොහොර නිපදවන විට එවැනි පරීක්ෂාවක් සිදු නොකළ ද මහා පරිමාණයෙන් කර්මාන්තශාලාවල කාබනික පොහොර නිපදවන විට කාබනික ද්‍රව්‍ය එවැනි පරීක්ෂාවකට ලක් කෙරේ. එබැවින් ඒ පිළිබඳව බියක් ඇති කර ගත යුතු නැත.
කාබනික පොහොර නිපදවීමේදී වල් පැළෑටි ද යොදා ගන්නා බැවින් ඒ අතර පරිසරයට අනවශ්‍ය, ආක්‍රමණශීලී ශාක වර්ගවල බීජ පැවතිය හොත් කාබනික පොහොර යෙදීම මඟින් වගාව තුළ එම ආක්‍රමණශීලී ශාක පැතිර යෑමේ අවදානමක් ද ඇත. එවිට ආක්‍රමණශීලී පැළෑටි වර්ග වගා බිමේ පැළ වර්ග ආක්‍රමණය කළ හැකිය. කෙසේ වෙතත් මෙයාකාරයෙන් කාබනික පොහොරවලට යොදා ගන්නා ද්‍රව්‍යවල ආක්‍රමණශීලී ශාකවල බීජ අන්තර්ගත වී තිබේද? යන්න නම් පොහොර නිෂ්පාදනයේදී හැමවිටම පරීක්ෂාවට ලක් නොවේ. එබැවින් කාබනික පොහොර යෙදූ විට ද වගාබිම පිළිබඳව නිතර සැලකිලිමත් විය යුතුය. විශේෂයෙන්ම වගාබිමේ හටගන්නා වල් පැළෑටි පිළිබඳව සැලකිලිමත් වෙමින් ඒවා අතින් නෙළීම හෝ වල් නාශක යෙදීම කළ හැකිය. වල් නාශක යෙදීමේදී ද රසායනික වල් නාශක වෙනුවට කාබනික වල් නාශක යොදාගැනීම වැදගත් වේ.
අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය
ඉහත සඳහන් කළ තත්ත්වයන් ද්විත්වය හැරුණු විට වගාවන් සඳහා කාබනික පොහොර භාවිතයේදී උද්ගත විය හැකි වෙනත් කිසිදු අවදානමක් නැත. කාබනික පොහොර භාවිතය ඉතාමත් වාසිදායකය. ලාභදායකය. කාබනික පොහොර නිපදවීම සඳහා යොදාගන්නේ අප විසින් ඉවතලන දෑය. එසේම මෙහිදී සිදුවන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය, පරිසරය ද සුන්දරව සහ ප්‍රියජනකව තැබීමට උපකාරී වේ. පරිසර දූෂණය ද අවම වේ.
රසායනික පොහොර භාවිතයේදී නම් අහිතකර තත්ත්වයන් රැසක් ඇත. පසට යොදන රසායනික සේදී ගොස් ඇළ, දොළ ගංගාවලට එක්වීම තුළ ජලජ පැළෑටි, මත්ස්‍යයින් සහ ජලජ ජීවීන් විනාශ වී යා හැකිය. එසේම ජලමූලාශ ද දූෂණය විය හැකියි. රසායනික පොහොරවල ඇති බැර ලෝහ බොහෝ ජීවීන්ට අහිතකර විය හැකිය. මෙයාකාරයෙන් බලන විට කාබනික පොහොර හැම අතින්ම රසායනික පොහොර ඉක්මවා යන සුවිශේෂී පොහොර වර්ගයකි.
රසායනික පොහොර යෙදීම මඟින් ජලජ ජීවින්ට, පාංශු ජීවින්ට, ක්ෂුද්‍ර ජීවීන්ට විෂ එකතු විය හැකි සේම රසායනික පොහොර යෙදූ කෘෂි නිෂ්පාදන ආහාරයට ගත් විට මිනිසුන් ද විවිධ රෝග තත්ත්වයන්ට ගොදුරුවීමේ අවදානමක් ඇත. ඒ, රසායනික පොහොරවල ඇති රසායනික ද්‍රව්‍ය ශරීරයේ තැන්පත් වීමෙනි. මේ ඇතැම් රසායනික ද්‍රව්‍ය පමණ ඉක්මවා අක්මාවේ තැන්පත් වීමෙන් බරපතළ සෞඛ්‍ය ගැටලු මතු විය හැකි බව විද්‍යාත්මක ව ඔප්පු වී ඇත. ආහාර මාර්ගයෙන් ශරීරයට අවශෝෂණය කර ගන්නා පොස්පරස් අස්ථි වර්ධනයට අවශ්‍ය වේ. එහෙත් ඒවා දරා ගත නොහැකි තරමට ශරීරගත වූ විට නම් යම් යම් රෝග තත්ත්වයන් ඇතිවිය හැකිය.
ඉහළ මිලක්
මේ වන විට ලොව බොහෝ රටවල් කාබනික ආහාරවලට නැඹුරු වෙමින් සිටී. විශේෂයෙන්ම සංවර්ධිත රටවලින් කාබනික ආහාර සඳහා ඇත්තේ ඉහළ ඉල්ලුමකි. එසේම කාබනික ආහාරවලට රසායනික පොහොර යෙදූ ආහාරවලට වඩා ඉහළ මිලක් ද ලැබේ. එපමණක් නොව කාබනික ආහාරවල පෝෂණ අගය, රසායනික පොහොර යෙදූ ආහාරවලට වඩා ඉතා ඉහළය. කාබනික පොහොර යෙදූ විට පලදාව ද වැඩිය. රසායනික පොහොර යොදනවාට වඩා වැඩි පලදාවක් කාබනික පොහොර යෙදීමෙන් ලබා ගත හැකි බව පරීක්ෂණවලින් තහවුරු වී තිබේ. ලෙඩ රෝගවලින් ද තොර බැවින් කාබනික ආහාර භාවිතය හැමවිටම වාසිදායකය.
ශ්‍රී ලංකාව අතීතයේ පටන්ම කෘෂිකර්මාන්තයට ප්රමුඛස්ථානයක් ලබා දුන් රටක්. ගොවීන් බහුල වශයෙන් රසායනික පොහොර භාවිතයට හුරු වීමත් සමඟ පාරිභෝගිකයාගේ ආහාර රටාවට ක්‍රමයෙන් වස විස එක් විය. දැන දැනම වස දීමත්, දැන දැනම වස කෑමත් වෙනුවට නොපමාව කාබනික වගාවට හා කාබනික කෘෂි නිෂ්පාදන පරිභෝජනයට නැඹුරු වීම නුවණට හුරුය.
වෛද්‍ය සෙලී ප්‍රනාන්දුගේ උපදෙස් ඇසුරෙන් සකස් කළේ
කාංචනා සිරිවර්ධන