ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ඊයේ (29දා) දිනයේ දේශීය වශයෙන් සම්ප්‍රේෂණය වූ කොවිඩ්-19 ආසාදිතයන් 6 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ මේ වනවිටත් මෙල්බර්න් පුරා පවතින දැඩි අගුලු දැමීමේ සීමාවන් මධ්‍යයේය.
ඒ අනුව ලෝකයේ වඩාත් විශිෂ්ට ලෙස කොවිඩ්-19 පාලනය කර තිබූ ඔස්ට්‍රේලියාවේ මෙම නවතම මෙල්බර්න් පොකුරේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 49ක් දක්වා ඉහළ ගොස් ඇත.
එනමුදු ආසාදිත පුද්ගලයින් ගැවසී ඇති නිරාවරණ ප්‍රදේශ හා ස්ථාන සංඛ්‍යාව 150කට වඩා වැඩි නිසා මෙම පොකුර මේ වනවිටත් දහස් ගණනක් අවදානමට ලක්කර ඇති බව කියයි.
වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපය බ්‍රහස්පතින්දා රාත්‍රියේ සිට සතියක් පුරා අගුලු දමා ඇති අතර, එය වසංගතය විසින් ප්‍රාන්තයේ ලොක්ඩවුන් සීමා පැනවූ සිව්වැනි අවස්ථාවද වෙයි. එමෙන්ම නිවැසියන්ට නිවෙස්වලින් බැහැරට නොයන ලෙස ප්‍රාන්ත බලධාරීන් දැඩිව බලකර තිබේ.
වික්ටෝරියා හි කොවිඩ් -19 ප්‍රතිචාරයේ අණදෙන නිලධාරි ජෙරොයින් වයිමර් ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ, “අපිට දිනෙන් දින ආසාදිතයන් හමුවෙමින් තිබෙනවා. මේ වනවිට සතියක ලොක්ඩවුන් තත්ත්වය දින දෙකක් ගෙවී ගොසින්. අප දින හතක් ඉල්ලා සිටියේ ආසාදන පැතිරීම ගැඹුරු වැඩි නිසයි. එය තවදුරටත් දීර්ඝ වීමටද ඉඩ තිබෙනවා” යනුවෙනි.
දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ හෝටල් නිරෝධායනයෙන් ඉවත්ව ගිය සංචාරකයෙකු මුලින් සෘණාත්මක පරීක්ෂාවක් සිදුකර, පසුව මෙල්බර්න් හිදී යළි ධනාත්මක බව පරීක්ෂා කිරීමෙන් පසු මෙම පොකුර ඉස්මතු විය.