මාගේ කිරිල්ලී මෙන් රස වෑහෙන ගී මෙන්ම විස වෑහෙන වචනද,ඔබෙන් සජීවී ව අසා ඇත.ඒ වචන පිට කළ මුවට පිළිකාවකින් බැට දී ඔබ සදාකාලිකව නිහඬ කර ඇත.
කෙනෙක්ගේ ජීවිතය අහිමිවීම යනු ඔහු කෙතරම් දරුණු අශිෂ්ඨ මිනිසෙක් වුව සතුටට පත් වෙන්නට කාරණයක් නොවේය.එසේ කිරිමෙන් සිදුවන්නේ ඒ අශිෂ්ඨත්වය මිය නොයා අප තුළ ද ඉතුරුවීමය.
අනුර සේනානායක මගේ කිරිල්ලි අතහැර සුඛ විහරණ සමඟ රැකියාවේ ඉහළට පියාඹා ගොස් අවසානයේ ඉතිරි කර ගියේ මොනවාද?ඔහු වස්තුව ධනය ජීවත්වන්නන් වෙනුවෙන් ඉතිරි කර ඇත.එහෙත් ඒ උපයා ගත අපකීර්තිය ද සමඟය.
වාස් ගුණවර්ධන සම්බන්ධ කතාවද එබඳුය.තරු පිටි ධනය ශක්තිය සමඟ ඔවුන්ට නැමුණු හිස්,ගෞරවයෙන්,කීර්තිය උදෙසා නැමුණු ඒවා නොව,උපන් බය,දරුණුකම වෙනුවෙන් නැමුණු ඒවා විය.එසේ නොමැතිනම් තනතුරු වල පදනම අනුව නැමුණු ඒවා විය.
ඉතිං මේ චරිතය ගැන ඔවුන් අත්පත් කරගත් භෞතික වටිනාකම් සහ අත්හැරගත් ආත්මීය තෘප්තිය සියල්ලට කියවා බලන්නට හැකිනම් අගනේය.මරණ ජීවත් වෙන්නට උගන්නන ඒවාය.
ලස්නට ගී ගැයූ ඔබ,අඩි හප්පා අශ්ලීල බස් දෙඩූ ඔබ,නිල ඇඳුම ඇද, පැවරෙන බලය පුළුල් කර ගැනීම වෙනුවෙන් බලය ලබා දෙන්නන් වෙනුවෙන් වචන විද්ද ඔබ.මේවා සඳහා භාවිත කළේ එකම හඬය.එකම මුවය.ඒ මුව ආබාධයකට ලක් කර ඔබ නිහඬ නොකර තිබුණානම් යන්න පිටත් වෙද්දී ඔබ ඒ මුවින් නිකුත් කළ කුමන හඬටද වඩා කැමති යැයි කියා යනු ඇත.
මරණයෙන් මතු ජීවිතයක් ඇති බව මම විශ්වාස නොකරමි.එහෙත් ජීවත්වෙන්නන්ට සතුට සහ අභිමානය ඉතුරු කරන්නට ධනයට සහ නිලයට පමණක් නොහැි බව සමාජජාලා හරහා ඔබේ මරණය විසින් ඔප්පු කරමින් ඇත.ඒ නිසා ඔබේ මරණය ජීවත් වූ අනුර සේනානායකට වඩා මිනිසුන්ට හිතන්නට හැකි කතිකාවක් වී ඇත.
සුබ ගමන්!
නිෂ්මං රණසිංහ