කුඩා වියේ සිටම එඩ්වින් සෙල්ලමට ප්‍රිය කළේ නැත. ඒ වෙනුවට ඔහු කළේ පොතපත කියැවීමයි. පන්තියේ ළමයින් විවේක කාලය සෙල්ලමෙන් ගත කළත් එඩ්වින් ඒවාට සම්බන්ධ වූයේ නැත. එනිසාම දිනක් ගුරුවරයකුගේ දඬුවමකට යටත් වීමට ද ඔහුට සිදු විය. එඩ්වින් පමණක් පංතියේ පොතක් බැලීමේ නිරතව සිටි නිසා ගුරුවරයා ඔහුට පවසා ඇත්තේ පාසල වටා රවුමක් දුවන ලෙසටය.
උණවටුනේ වී.කේ. ඒබ්‍රහම් අප්පුහාමිට දාව සිසිලියානා හාමිනේට උපන් පස් දෙනකුගෙන් යුත් දරුවන් අතර බඩපිස්සා වූයේ ඔහුය. 1922 දෙසැම්බර් 03 වැනිදා උපන් ඔහුගේ උප්පැන්නයට නම තැබුණේ විජේතුංග කරුණාරත්න එඩ්වින් ආරියදාස ලෙසිනි.
උණවටුන බෞද්ධ මිශ්‍ර පාසලින් ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ කුඩා එඩ්වින් ද්විතීයික අධ්‍යාපනය සඳහා එළඹුණේ ගාල්ලේ මහින්ද විද්‍යාලයටය.
පසුකලෙක දිනමිණ උපකර්තෘ, විශේෂාංග කර්තෘ, නවයුගය ප්‍රධාන කර්තෘ ධුර දක්වාත් ඒ පසුකොට ලේක්හවුස් ආයතනයේ උපදේශක, මණ්ඩල සාමාජිකයකු දක්වාත් ඉහළට ගිය කලාකීර්ති එඩ්වින් ආරියදාස මහතා මෙරට සිංහල ඉංග්‍රීසි පුවත්පත් වෙනුවෙන් කළ මෙහෙවර අමිලය.
පුවත්පත් කලාවේදියකු වීමට කුඩා කල සිටම ඔහු තුළ තිබූ බලවත් ආසාව හා නිසඟ හැකියාව පිළිබඳව ඔහු වරක් මෙසේ මතකයට නැඟුවේය.
“එතකොට මගේ වයස අවුරුදු දහයයි. හය වැනි පන්තියේ ඉගෙන ගන්න කාලේ දවසක් දා අපේ ගුරුතුමිය පංතියේ ළමයි වටකරගෙන ප්‍රශ්නයක් ඇහුවා. අනාගතයේ ඔය ළමයි කවුරුන් වෙන්නද කැමැති කියලා. ගුරු මේසය වටේ හිටගෙන සිටි ළමයි තමන් කැමැති රස්සාවල නම් කියාගෙන ගියා. හුඟාක් පිරිමි ළමයි කීවේ බස් රියැදුරෙක් වෙන්න කැමැතියි කියලයි. සමහරු කීවා කොන්දොස්තර කෙනෙක් වෙන්න කැමැතියි කියලා. ගැහැනු ළමයි කීප දෙනෙක් කීවා ගුරුතුමියක් වෙන්න ආසයි කියලා.
එක එක්කෙනා පෝලිමට එහෙම කියාගෙන යද්දි මගේ වාරෙ ආවා. මම කීවා “පත්තර කර්තෘ කෙනෙක්” වෙන්න කැමැතියි කියලා. මම එහෙම කීවාම ගුරුතුමිය මගේ දිහා බැලුවෙ ටිකක් අවඥාවෙන් වගේ. මගේ උත්තරේට ගුරුතුමියටත් ළමයින්ටත් හිනා ගියා. හැබැයි ඒ මට නෙවෙයි. මගේ අදහසටයි හිනා වුණේ. ඒ කියන්නෙ ඒ කාලෙ කවුරුවත් එහෙම රස්සාවක් තිබෙනව ද කියලා දැනගෙන හිටියේ නෑ. හැබැයි ඒක වසර ගණනාවකට පස්සෙ මට සැබෑ කර ගන්න පුළුවන් වුණා. “
“කුඩා කලේ ඉඳලම පත්තරයක් බලන පුරුද්දක් මට තිබුණා. කොහොම හරි ඉරිදා උදේට පත්තරයක් ගන්න ඕන නිසා සත දහයක් හොයාගෙන ඒක සෙනසුරාදා රෑට කොට්ටෙ යට තියාගෙන නිදාගන්න පුරුද්දක් මට තිබුණා. ඒ තරමටම පුංචි කාලෙ මට පත්තර බලන්න ආසයි.”
එඩ්වින් ආරියදාස දරුවා එකල ඉංග්‍රීසි ඉගෙනීමට ද තදබල කැමැත්තක් දැක්වූයේය. ඒ තම වැඩිමහල් සහෝදරයා සතු ඉංග්‍රීසි පතපොත නිතර දකින්නට ලැබීම නිසාය. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු තුනකි. ඔහු වඩාත් ප්‍රිය කළේ අයියාගේ ඉංග්‍රීසි පතපොතේ පින්තූර හා චිත්‍රවලටය. නිතරම ඒවා පරිහරණය කිරීම නිසා ඔහුට වැඩිකල් නොගොස්ම ඉංග්‍රිසි අකුරු හඳුනාගන්නට ද පුළුවන් විය.
“පවුලේ අය හිතුවෙ ඒක මට ආපු සංසාරගත පුරුද්දක් කියලයි. ඒ වෙනකොට මට නැකැතට අකුරු කියවලා තිබුණෙත් නෑ. සිංහල අකුරුවලටත් වඩා ඉංග්‍රිසි අකුරු ඉක්මනින් ඉගෙන ගත්ත නිසා ගෙදර අය මට නමකුත් පට බැන්දා ‘සුද්දා’ කියලා.”
ආරියදාස මහතා වරෙක පවසා තිබිණි.
කුඩා වියේ සිටම එඩ්වින් සෙල්ලමට ප්‍රිය කළේ නැත. ඒ වෙනුවට ඔහු කළේ පොතපත කියැවීමයි. පන්තියේ ළමයින් විවේක කාලය සෙල්ලමෙන් ගත කළත් එඩ්වින් ඒවාට සම්බන්ධ වූයේ නැත. එනිසාම දිනක් ගුරුවරයකුගේ දඬුවමකට යටත් වීමට ද ඔහුට සිදු විය.
එඩ්වින් පමණක් පන්තියේ පොතක් බැලීමේ නිරතව සිටි නිසා ගුරුවරයා ඔහුට පවසා ඇත්තේ පාසල වටා රවුමක් දුවන ලෙසටය.
මුනිදාස කුමාරතුංගයන් හෙළ හවුල අරඹන කාලයේ එඩ්වින්ගේ වයස අවුරුදු 13කි.
දිනක් එඩ්වින් තම මිතුරන් සමඟ හෙළ හවුල ගැන කතාබස් කරමින් සිටියදී ඔහු එකහෙළාම හෙළ හවුලේ කටයුතුවලට විරෝධය පළ කළේය. එඩ්වින්ගේ අදහස වූයේ හෙළ හවුල සිංහල භාෂාවේ ජීව ගුණය මරා දමන බවය. ඔහු එහිදී කළ ප්‍රබල විරෝධය මිතුරන් මඟින් වැඩිහිටියන් දැනගෙන එය හෙළ හවුලේ ප්‍රධානීන්ට ද දැනගන්නට ලැබී ඇත. එහි ප්‍රතිඵලය වූයේ හෙළ හවුලේ පිරිසක් එඩ්වින්ට කැලෑ පත්තරයකින් සංග්‍රහ කිරීමයි.
පාසල් අධ්‍යාපනයෙන් පසු එඩ්වින් ආරියදාස තරුණයා ලංකා විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලැබීය. ඒ 1945 දීය. එවකට එහි උපකුලපතිවරයා වූයේ ශ්‍රීමත් අයිවර් ජෙනිංග්ස්ය.
අවසන් උපාධිය නිම කළ පසු කෙටි කලක් ඔහු මහින්ද විදුහලේ ගුරුවරයකු ලෙස සේවය කළේය. එසේ සිටියදී සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සිටි හිතවතුන් පිරිසක් එඩ්වින්ට ආරාධනා කළේ කොළඹ පැමිණ රක්ෂණ සමාගමක ලේකම්වරයකු ලෙස කටයුතු කිරීමටය. ඔවුන්ගේ අපේක්ෂාව වී තිබුණේ එඩ්වින් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති තනතුරට පත් කිරීමටය.
ඒ කෙසේ වුවද ආරියදාස මහතාට රක්ෂණ සමාගමේ රැකියාව ලැබිණි. ගමන් පහසුව සඳහා මෝටර් රථයක් ද, වෙනත් දීමනා ද, නිසි වැටුපක් ද ඔහුට ලැබිණි. මෙනිසා කුඩා අවධියේ ඔහු සිත යට තිබූ ‘පුවත්පත් කලාවේදී’ සිහිනය මතකයෙන් දුරස්ව ගියේය.
එහෙත් 1949 වසරේ දිනෙක ඔහුට හදිසියේම ලේක්හවුස් ආයතනයෙන් පණිවිඩයක් ලැබිණි. ඒ ලේක්හවුස් නිර්මාතෘ ඩී.ආර්. විජයවර්ධනයන්ගේ බෑනණුවන් වූ එස්මන්ඩ් වික්‍රමසිංහයන් වෙතිනි.
එඩ්වින් මහතා ලේක්හවුස් ආයතනයට ගනිමු යැයි වික්‍රමසිංහ මහතාට යෝජනා කර තිබුණේ මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන්ය. ළමා වියේ සිතේ සැඟවී තිබූ පුවත්පත් කලාවේදියකු වීමේ සිහිනය සැබෑ වූයේ එලෙසිනි.
1949 මාර්තු 03 වැනිදා එඩ්වින් ආරියදාස මහතා ලේක්හවුස් ආයතනයේ වැඩ බාර ගත්තේය. එය ඔහුගේ දිවියේ ප්‍රබලම හැරවුම් ලක්ෂ්‍යය විය.
දිනමිණ, සිළුමිණ, ජනතා, නවයුගය සේම Daily News, Observer ඇතුළු පුවත්පත් ගණනාවකම කර්තෘ මණ්ඩල සාමාජිකයකු වූ ඔහු මෙරට සිංහල ඉංග්‍රීසි පාඨකයන් ලක්ෂ ගණනාවකටම එතැන් සිට දැනුම ලබා දීමෙන් විශිෂ්ට සේවයක් ඉටු කළේය.
අනතුරුව එඩ්වින් ආරියදාස මහතා උසස් අධ්‍යාපනය ලබන සිසු පරපුර සඳහා පළමු වරට විශ්වවිද්‍යාල පාඨමාලාවක් ලෙස ජනසන්නිවේදන විෂයය හඳුන්වා දීමට පුරෝගාමී විය.
කැලණිය විශ්වවිද්‍යාලයේ එම විෂය ඇරඹෙද්දී එහි විෂය නිර්දේශය සැකසූ මණ්ඩලයේ සාමාජිකයකු වූ ආරියදාස මහතා ඉන්පසුව බාහිර කථිකාචාර්යවරයකු ලෙස විද්‍යාර්ථීන්ට සිය දැනුම බෙදා දුන්නේය.
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය ඩිප්ලෝමා පාඨමාලාවත්, කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය ඩිප්ලෝමාවත් ඇරඹීමේදී ඊට මූලිකත්වය ගත්තේ ද ආරියදාස මහතාය.
නව තාක්ෂණය හේතුවෙන් වර්තමාන පරපුර අද භාවිතා කරන සිංහල වදන් කිහිපයක් බිහි කළේද එඩ්වින් ආරියදාස සූරීහුය. Internet සඳහා අන්තර්ජාලය, Media images සඳහා මාධ්‍ය රූප, Animation සඳහා සජීවීකරණය වැනි සිංහල වදන්වල නිර්මාතෘවරයා ඔහුය.
විවිධ ආයතන හා සංගම් මඟින් සම්මාන ගණනාවකින් පුද ලද ආරියදාස මහතා ඉකුත් දා මියෙන තුරුම ලේඛනයත්, සාහිත්‍යයත්, ජනමාධ්‍යයත් අත් නොහළ බහුශ්‍රැතයෙකි. ඔහු වැනි දැනුම් සම්භාරයක් ලද වියතකුගේ සමු ගැනීම රටටම විසල් පාඩුවක් බව නොකිවමනාය.
බන්ධුල ගුණරත්න