ශ්‍රී ලංකාව පුරා කොරෝනා වසංගත රෝගී තත්ත්වය පැතිර යාමත් සමඟ, වාණිජ ගුවන් ගමන් අත්හිටුවීමට රජය තීරණය කළේ මෙම වෛරසය තවදුරටත් රට තුළට ඇතුළු වීම වළක්වා ගනිමින් පාලනය කිරීමටය.
ඒ අනුව ඉකුත් වසරේ මාර්තු මස 19 වැනිදා දේශීය සහ විදේශීය ගුවන් මගීන් සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඇතුළු අනෙකුත් ගුවන් තොටුපොළ වසා දැමීමට පියවර ගෙන තිබුණි. ඉන්පසු මාස 10කට ආසන්න කාලයක් මෙසේ වාණිජ ගුවන් ගමන් අත්හිටුවීම ක්‍රියාත්මක වී පැවතුණි.
එහෙත් මෙම කාලසීමාව තුළ දී භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවා ක්‍රියාත්මක වීම සිදු විය. විශේෂයෙන්ම ශ්‍රී ලන්කන් ගුවන් සේවය මගී ගුවන් ගමන් ඇනහිටීමත් සමඟ භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්රයට පිවිස තිබුණි. ඔවුන් ඒ සඳහා තම ගුවන්යානා ඇණිය සතුව තිබූ ඒ-340 මගී ප්‍රවාහන ගුවන් යානයක් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් බවට පත් කරමින්, කලාපයේ ප්‍රධාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවා අතරට එක් විය.
එමගින් ශ්‍රී ලංකාවට වඩාත් අවශ්‍ය ඖෂධ, සෞඛ්‍ය, වෛද්‍ය උපකරණ කඩිනමින් මෙම භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානා මගින් මෙරටට ගෙන්වා ගැනීම සිදු විය. එසේම කඩිනමින් අපනයනය කළ යුතු, රටේ දේශීය නිෂ්පාදිත මෙම ගුවන්යානා මගින් විදේශ රටවල් කරා රැගෙන යෑම ද සිදු කෙරුණි. ඒ අතර විසිතුරු මසුන්, එළවළු, පළතුරු, බුලත්, කුකුළු පැටව් ආදී ද්‍රව්‍ය තිබුණි.
එසේම මෙම කාලසීමාව තුළ දී රැකියා, අධ්‍යාපන සහ ව්‍යාපාරික කටයුතු සඳහා විදේශ රටවලට ගොස් යළි ශ්‍රී ලංකාව වෙත පැමිණීමට නොහැකිව එම රටවල රුඳී සිටි ශ්‍රී ලාංකිකයන් යළි මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහන් ආකාර දෙකකට ක්‍රියාත්මක විය.
ඉන් පළමුවැන්න ලෙස විදේශ රටවල රැකියා සඳහා ගොස් එහිදී විවිධ කරදර, හිරිහැරවලට ලක් වී, යළි ශ්‍රී ලංකාව වෙත පැමිණීමට නොහැකිව එම රටවල රුඳී සිටි ශ්‍රී ලාංකිකයන් කණ්ඩායම් වශයෙන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහනක් මෙම කාලසීමාව තුළ ක්‍රියාත්මක විය.
එහිදී මෙසේ රුගෙන එන ශ්‍රී ලාංකිකයන් කටුනායක ගුවන් තොටුපොළ තුළ පිහිටි වෛද්‍ය රසායනාගාරය තුළ දී නොමිලේ පී.සී.ආර්. පරීක්ෂණ සඳහා ලක් කළ අතර, පසුව ශ්‍රී ලංකා යුද හමුදාව විසින් රජයේ නිරෝධායන මධ්‍යස්ථාන වෙත නිරෝධායනය සඳහා රුගෙන යෑම සිදු කෙරුණි.
අනෙක් ක්‍රමවේදය නම් මේ ආකාරයට විදේශ රටවල කොටු වී සිටි ශ්‍රී ලාංකිකයන් රජයේ විශේෂ අවසරය මත මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහනයි. එසේ පැමිණි ශ්‍රී ලාංකිකයන් කොළඹ පෞද්ගලික රෝහල් කිහිපයක සෞඛ්‍ය කාර්ය මණ්ඩල විසින් මුදල් ගෙවීමේ පදනම මත පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කිරීමෙන් පසුව නිරෝධායන ක්‍රියාවලිය සඳහා සංචාරක හෝටල් වෙත ශ්‍රී ලංකා යුද හමුදාව විසින් රැගෙන යෑම සිදු කෙරුණි.
මුළු ලෝකයම කොරෝනා වසංගතය අතරේ තම රටවල් විවෘත කිරීම සිදු කළේ තවදුරටත් එම රටවල ආර්ථිකය කඩා වැටීම පාලනය කිරීම සඳහාය.
ඒ අනුව සංචාරක කර්මාන්තය යළි නගාසිටුවීම සඳහා “සංචාරක බුබුල” සංකල්පය නියමු ව්‍යාපෘතිය යටතේ යුක්රේන ජාතික සංචාරකයන් 2,500ක් එරට විශේෂ ගුවන්යානා 14කින් ඉකුත් වසරේ 12/18 දින සිට මත්තල ගුවන් තොටුපොළ වෙත රුගෙන ඒම සිදු විය.
ඉන් අනතුරුව ශ්‍රී ලංකා රජය ශ්‍රී ලංකාවට පැමිණීමට ඇති සියලු බාධක ලිහිල් කරමින්, විදේශ සංචාරකයන් ඇතුළු ජාත්‍යන්තර ගුවන් මගීන්ට මෙන්ම, විදේශ රටවල රුඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට ද රජයේ අවසර ගැනීමකින් තොරව, සාමාන්‍ය ගුවන් ගමන් ගාස්තු යටතේ සාමාන්‍ය මගී ගුවන්යානා වලින් ශ්‍රී ලංකාවට පැමිණීමට අවස්ථාව මේ වසරේ ජනවාරි 21 දින සිට උදා කර දීමට පියවර ගෙන තිබුණි.
අනතුරුව මෙතෙක් ක්‍රියාත්මක වූ විශේෂ ගුවන්යානා මගින් සිදු කෙරෙන ගුවන් මගී ප්‍රවාහන කටයුතු ද නවතා දමනු ලැබීය
ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන් කාණ්ඩ 03ක් යටතේ වර්ගීකරණය කර තිබුණි. ඉන් පළමුවැන්න නේවාසික පුරවැසියන් ද, දෙවැන්න ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයන් ද, තෙවැන්න විදේශීය සංචාරකයන් ලෙස ද නම් කර තිබුණි.
මෙසේ ශ්‍රී ලංකාවට පැමිණීමට අදහස් කරන විදේශීය සංචාරකයන් ඇතුළු සියලු දෙනා ශ්‍රී ලංකාවට පැමිණීමට පැය 72කට පෙර පී.සී.ආර්. පරීක්ෂණකට භාජනය වී, කොරෝනා වෛරසය ආසාදිත වී නොමැති බවට තහවුරු කිරීම සහිත වාර්තාවක් ලබා ගත යුතුය.
ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන් සදහා ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි වී ඇති සුදුසුකම් සපුරාලූ සංචාරක හෝටල් 53ක් සූදානම් කර ඇති අතර, ඒවා පිළිබඳ වැඩිදුර විස්තර ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ www.srilanka.travel යන වෙබ් අඩවියට පිවිස සොයා දැනගෙන තමන් කැමැති සංචාරක හෝටලය වෙන්කර ගැනීම සිදු කළ යුතුය .
පසුව මෙම විදේශීය සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණීමට ගුවන් ප්‍රවේශ පත්‍ර ලබාගැනීම සිදු කළ යුතුය. එහිදී ශ්‍රී ලංකාවට පැමිණීමට පැය 72කට පෙර ලබාගත් කොරෝනා වෛරසය ශරීරගත නොවූ බවට වූ වෛද්‍ය පරීක්ෂණ වාර්තාවක්, ශ්‍රී ලංකාවට පැමිණි පසුව පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීම සඳහා අමෙරිකානු ඩොලර් 40ක මුදලක් තැන්පත් කර මුදල් ගෙවූ බවට රිසිට් පතක් මෙන්ම ශ්‍රී ලංකාවේ සංචාරය කරන කාලය අතරතුරදී ක්‍රියාත්මක වන පරිදි අමෙරිකානු ඩොලර් 12ක් ගෙවා ලබාගත් කොරෝනා රක්ෂණ ආවරණයක් ද තිබිය යුතුය.
මෙහිදී මෙම විදේශීය සංචාරකයන් ශ්‍රී ලංකාව තුළ දින 01-07 අතර කාලයක් ගත කරන්නේ නම් එක් පී.සී.ආර්. පරීක්ෂණයක් ද, දින 07ට වඩා වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ ගත කරන්නේ නම් පී.සී.ආර්.පරීක්ෂණ 02කට සහභාගී විය යුතු අතර, ඒ සඳහා අමෙරිකානු ඩොලර් 80ක මුදලක් ද ගෙවිය යුතුය. පසුව මෙම විදේශීය සංචාරකයන් ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ www.eta.gov.lk වෙබ් අඩවියට පිවිස මාර්ගගත ක්‍රමයට මෙරට රුඳී සිටීම සඳහා වීසා අයැදුම් කිරීම සිදු කළ යුතුය. ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම ගුවන් මගීන් මුඛ ආවරණ පැළඳ සිටීම අනිවාර්ය වන අතර, දුරස්ථභාවය රුකගනිමින් කටයුතු කිරීම ද සිදු කළ යුතුය.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණෙන සියලුම ගුවන් මගීන් සහ ඔවුන් රැගෙන එන ගමන් මලු ගුවන් යානයෙන් බැස, ගුවන් පාලම් ඔස්සේ ගුවන් තොටුපොළ ජැටියට පිවිසෙන විටම විෂබීජහරණය කිරීම සිදු කරයි. ඉන්පසුව මෙම ගුවන් මගීන් ස්වයංක්‍රීය උෂ්ණත්වමාපක ඉදිරිපිටින් ගමන් කිරීමට සලස්වා ඇති අතර, කිසියම් ගුවන් මගියකුගේ ශරීර උෂ්ණත්වය සෙල්සියස් 37.5° ඉක්මවා ගොස් ඇත්නම් ඔවුන් ගුවන් තොටුපළ සෞඛ්‍ය බලධාරීන් වෙත ඉදිරිපත් කර ඉදිරි පියවර ගනු ලැබේ.
ගුවන් යානය තුළ දී ලබා දුන් සෞඛ්‍ය පත්‍රිකා සම්පූර්ණ කර, සෞඛ්‍ය කවුළු වෙත බාරදීම සිදු කරනු ලබයි. කටුනායක ගුවන් තොටුපොළ මෙවැනි සෞඛ්‍ය කවුළු 10ක් ස්ථාපිත කර ඇති අතර, මත්තල ගුවන් තොටුපොළේ එවැනි සෞඛ්‍ය කවුළු 02ක් සූදානම් කර තිබේ.
අනතුරුව මෙම ගුවන් මගීන් කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන කලාපයට පිවිසෙන අතර, එහිදී තත්ත්පර 30ක් වැනි ඉතා කෙටි කාලයක් තුළ මෙම මගීන් නිදහස් කිරීමට පියවර ගෙන තිබේ. එසේ පිටවන ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයට ඇතුළු වෙති. එහිදී ඔවුන් වැඩි කාලයක් මේ තුළ ගත කරන අතර, එම සාප්පු සංකීර්ණයේ සියලු සේවකයෝ ශරීර ආරක්ෂක ඇඳුම්වලින් සැරසී සිටීමට පියවර ගෙන සිටිති. ඉන්පසු මෙම ගුවන් මගීන් රුගෙන ආ බඩුබාහිරාදිය ලබා ගැනීමට, ස්වයංක්‍රීය පටි ධාවන යන්ත්‍ර අසලට පිවිසෙන මෙම පිරිස ගුවන් තොටුපොළ සහායකවරුන්ගේ සහාය ඇතිව කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ ආලින්දය වෙත පිවිසෙති.
එහිදී ඔවුන්ට අවශ්‍ය මුදල් ගනුදෙනු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ බැංකු සියල්ලම ස්ථාපිත කර ඇති අතර, එම ගනුදෙනු නිමාවෙන් පසුව කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්වීම සිදු කිරීම ආරම්භ වේ.
කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්වීම දොරටු 02 ඔස්සේ සිදු කරනු ලබන අතර, ශ්‍රී ලාංකික නේවාසික ගුවන් මගීන් ජාතික කොවිඩ් කාර්ය සාධන බලකායේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ද, විදේශීය සංචාරකයන් ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ද පිටත් කිරීම සිදු කරයි.
ඒ අනුව 01/21 දින උදෑසන 7.40ට ඕමානයේ මස්කට් නුවර සිට ඕමාන් ගුවන් සේවයේ ඩබ්ලිව්.වයි-371 දරණ පළමු වාණිජ ගුවන්යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර, එහි ශ්‍රී ලාංකික ගුවන් මගීන් 50 දෙනෙක් පැමිණ සිටියහ.එසේම 01/21 දින රාත්‍රී 10.30ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ-648 දරණ ගුවන් යානයෙන් පළමු විදේශීය සංචාරකයන් පිරිස ලෙස නෙදර්ලන්ත ජාතිකයන් 10 දෙනෙක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ. ඔවුන් අතර කුඩා දරුවන් 05 දෙනකු ද සිටි අතර, ඔවුහු බෙන්තොට බීච් හෝටලයේ නවාතැන් ගැනීම සඳහා පිටත්ව ගියහ.
ඒ සමඟම ශ්‍රී ලංකාව යළි විදේශීය සංචාරකයන් සඳහා විවෘත කිරීම පිළිබඳව මාධ්‍ය වාර්තාකරණයෙහි යෙදීම සඳහා ජර්මන් ජාතික මාධ්‍යවේදීන් 05 දෙනෙක් ද, 01/22 දින අලුයම 1.35ට කටාර් රාජ්‍යයේ දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්-668 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.
මේ වන විට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඇසුරෙන් දේශීය සහ විදේශීය සංචාරකයන් ක්‍රමයෙන් ශ්‍රී ලංකාවට පැමිණීම මේ ආකාරයට ආරම්භ වී තිබේ.
කටුනායක ටී.කේ.ජී. කපිල