යුනයිටඩ් එයාර්ලයින්ස් සමාගමට අයත් ගුවන්යානයක ඇන්ජිමේ සිදුවූ කාර්මික දෝෂයක් හේතුවෙන් හදිසියේ එය ගොඩබාන්නට යන අවස්ථාවේ යානයෙන් කැඩී වැටෙන සුන්බුන් ඩෙන්වර් නගරයේ තදාසන්න ප්‍රදේශයකට වැටී තිබේ. පසුගිය සෙනසුරාදා අමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ ඩෙන්වර් අන්තර්ජාතික ගුවන් තොටුපළෙන් ගුවන්ගත වූ මෙම යානය බෝයිං 777-200 වර්ගයේ එකකි. ඒ වන විට එම යානයේ මගීන් 231ක් හා කාර්ය මණ්ඩලයේ 10 දෙනකු සිටි බව ෆෙඩරල් ගුවන්සේවා පරිපාලනය පවසයි. හොනලූලූ නගරය වෙත පියාසර කරමින් තිබූ මෙම යානයේ එකී අනතුර වළක්වා නොගත්තේ නම් ගුවන්යානයේ සිටි සියලු දෙනා පමණක් නොව ඩෙවොන් නගරයට කි.මී. 40ක් පමණ ඈතින් ජීවත් වූ නිවැසියන්ද යානය පතිතව මිය යන්නට ඉඩ තිබිණි. එය වළක්වා ගැනීමට සමත් වූ නියමුවා වීරයෙක් බවට පත්ව සිටී.
එය ගුවන්ගත කොට මඳ වේලාවකින් එහි දකුණු ඇන්ජිමේ කාර්මික දෝෂයක් හටගෙන තිබේ. යානය සෑහෙන උසක තිබියදී එම කාර්මික දෝෂය පිළිබඳව කපිතාන්වරයා ගුවන්යානය ඇතුළත සන්නිවේදන පද්ධතිය හරහා ඒ බව මගීන්ට දැනුම් දුන්නේය. ඒ සමඟම විශාල පිපිරීමක හඬ මගීන්ට ඇසිණි. යානයත් පාලක මැදිරියත් ඒ හඬ සමඟම දෙදරන්නට ගත්තේය. දෑස් නිලංකාර කරන එළියක් ඒ සමඟ විහිදුණේය.
“ප්ලේන් එක දරුණු විදිහට දෙදරන්න ගත්තා. යානය ගමන් ගත්තු උස හදිසියේ වෙනස් වෙලා පහළට එන්න ගත්තා.”
ඩේවිඩ් ඩේලුසියා නම් මගියා තමා විඳි අත්දැකීම කියන්නට ගත්තේ එසේය. ඔහු තම බිරිඳ සමඟ ගමන් ගත්තේ කාර්මික දෝෂයට ලක්වූ ඇන්ජිම ආසන්නයේම තිබෙන ආසන පේළියකය. තටුවක් ගිනිගෙන දැවෙමින් තනි තටුවෙන් පියාසර කළ එම ගුවන්යානයේ සළ රූ මේ දිනවල අන්තර්ජාලයේ දැකගත හැකිය.
ඩේලුසියා තම අත්දැකීම විස්තර කළේ මෙසේය. “මුලින්ම අනතුර ගැන දැනගත්තු ගමන් මං හිතුවෙ අපි ඉවරයි කියලා. මං හිතුවෙ අපි කඩාවැටෙනවා කියලයි.”
ඩේලුසියා සහ ඔහුගේ බිරිඳ ඊළඟට සිතා ගත්තේ තම මරණයෙන් ඔබ්බට සිදුවිය යුතු දේ ගැනය. මරණයෙන් අනතුරුව තම මිනී හඳුනාගත නොහැකි වේ යැයි සිතූ ඒ දෙපළ කළේ හනිකට තම හැඳුනුම්පත් සහ වාහන පැදවීමේ බලපත්‍ර සහිත තම පසුම්බි ගෙන සාක්කුවේ ලා ගැනීමය.
“එතකොට අපව අඳුනාගන්න පුළුවන් නෙව” ඒ වන විටත් වෙව්ලමින් සිටි ඩේලුසියා කීවේය.
ඒ අතර තවදුරටත් ජීවත් වන්නට ආසාවක් අධිෂ්ඨානයක් තිබූ කාන්තාවක් මෙසේ කීවාය.
“මම මොහොතකටවත් හිතුවෙ නෑ අපි අද මැරේවි කියල. ඒක සාධාරණ නෑනෙ.”
ඇය තවදුරටත් මෙසේ කීවාය. “මම කෙටියෙන් විස්තරේ කියල Text කළා, මගේ දරුවන්ට. අපි එයාර්පෝර්ට් එකෙන් ඈත නෙවෙයි හිටියෙ. අපි වැඩි උසකත් නෙමෙයි හිටියෙ. මොන යම් හේතුවකට හෝ අපි බේරේවි කියල මට විශ්වාසයක් තිබුණා.”
කෙසේ වුවද ගුවන්යානයේ සිටියවුන්ට මඳ සීරීමක් හෝ සිදුනොවී නිරුපද්‍රිතව එය පොළොවට ගෙන එන්නට නියමුවා සමත් වූයේය. ඔහු එය නැවත ගෙන ආවේ ඩෙන්වර් ගුවන් තොටුපළටමය. ගුවන්යානය ඩෙන්වර් නගරවැසියන්ගේ ඉහට උඩින් තනි තටුවෙන් පියාසරද්දී ආබාධයට ලක්වූ දකුණු තටුවේ ඇන්ජිම ආසන්නයේ වැසුම් ආදී කැබලි නගරයේ තදාසන්න ප්‍රදේශවල, පාරවල් ගාණේ, පිට්ටනිවල සහ නිවෙස් අද්දර පතිත වූයේය. ඒවා වැටුණු තැන්වලින් ඉවත් නොකරන ලෙස බ්රූම් ෆීල්ඩ් පොලිස් දෙපාර්තමේන්තුව එම ප්‍රදේශයේ වැසියන්ට දැනුම් දෙනු ලැබූ අතර ඒවායින් හානි හෝ තුවාල සිදුවූ අය වෙතොත් ඒ පිළිබඳව වාර්තා කරන ලෙසද කියා සිටියේය. ඒවායේ ඡායාරූප ට්විටර් වෙත නිකුත් කරනු ලැබුවේද බ්රූම් ෆීල්ඩ් පොලිස් දෙපාර්තමේන්තුව විසිනි. මෙම ඡායාරූපවලින් වඩාත් කතාබහට ලක්වී ඇත්තේත්, පුවත් වෙබ්අඩවිවල පළවී ඇත්තේත්, ඇන්ජිමේ කවරයේ ඉදිරි වැසුම වූ වෘත්තාකාර කොටසයි. අඩි 15ක පමණ විශ්කම්භයෙන් යුතු එම වෘත්තාකාර කවරය ෆයිබර් ග්ලාස්වලින් තැනුවකි.
යානය ඇතුළත සිටි මගීන් මරණය ගැනත් ඉන් ඔබ්බට වන දේ ගැනත් සිතා සිටියදී බිම සිටි අය යානය පිටින් කඩා වැටේදෝයි බලා උන්හ. ටයිටර් තාල් නම් එම ප්‍රදේශයේ නිවැසියකු ඇසෝසියේටඩ් පුවත් සේවාවට කියා තිබුණේ ඔහු තමාගේ පවුලේ උදවිය සමඟ ඇවිදින්නට ගිය අවස්ථාවේ විශාල ගුවන්යානයක් හිතාගන්නට බැරි තරම් පහතින් පියාසර කරනු දුටු බවයි. ඔහු එය රූගත කරන්නට තම ජංගම දුරකථනය ඉවතට ගන්නට සූදානම් වූයේය.
“මං ඒක දිහා බලා ඉන්නකොට එකපාරට ඒකෙන් පිපුරුම් සද්දයක් ආවා. ඊටපස්සෙ වලාකුළක් වාගෙ දුමක් එන්න ගත්තා. ඊටත් පස්සෙ කෑලි බෑලි වැටෙන්න ගත්තා. සමහර ඒවා තිත් වගේ පෙනුණෙ.”
ඉන්පසු ගුවන්යානය නොවැටී පියාසර කරමින් නොපෙනී ගිය වග ඔහු ප්‍රකාශ කළේය.
“පස්සෙ තමා අපි දැනගත්තෙ කවුරුවත් මැරිලා නෑ කියලා.
කර්බි ක්ලෙමන්ට් නැමැත්තා තම බිරිඳ සමඟ ගෙතුල පත්තර කියවමින් සිටිනා විට මහා දෝංකාරයක් වැනි හඬක් ඇසෙන්නට ගත්තේය. තත්ත්පර කිහිපයකට පසුව විශාල යමක් බිමට වැටෙනු ඔවුහු නිවෙසේ ජනේලයෙන් දුටුවෝය. යානයෙන් ගිලිහුණු ඇන්ජිමේ ඉදිරි කවරය වූ එය වැටී තිබුණේ ඔවුන්ගේ ට්‍රක් රථය මතටයි. වාහනය කුණු කන්දක් බවට පත් කළ සෙයක් ඔවුන් දුටු බව කර්බි කීවේය.
එතැන තිබුණේ ඉහත සඳහන් කළ වෘත්තාකාර ගුවන්යානා ඇන්ජිමේ කවරයයි. ෆයිබර් ග්ලාස්වලින් තැනූ එම වැස්ම විනාඩි 10ක් තිස්සේ පාවෙමින් බිමට වැටුණු බව දුටු අය කීවෝය. ඇන්ජින් වැස්මේ කැබලි බවට සැක කෙරෙන තවත් සුන්බුන් ක්ලෙමන්ට්ගේ මිදුලේ තිබිණි.
අහසින් සුන්බුන් වරුසාවක් වැටෙනු ක්ලෙමන්ට් පසුව දුටු බව කීවේය. “ට්‍රක් එකේ කවුරු හරි හිටිය නං එතනම මැරෙනවා.” කර්බි ක්ලෙමන්ට් පැවසීය.
ගුවන්යානාවල ආරක්ෂාව සම්බන්ධ විශේෂඥයකු හා විශ්‍රාමලත් ගුවන් නියමුවකු වූ ජෝන් කොක්ස් (John Cox) මහා විපත්තිදායක කාර්මික දෝෂයක් ඇන්ජිමේ සිදුව ඇති බව කියා සිටියේය.
“ඒ වගේ දෙයක් සිදුවෙන්නෙ කලාතුරකින්. ඇන්ජිම ඇතුළෙ කැරකැවෙන දැවැන්ත තැටියෙ දෝෂයකින් තමා ඇන්ජිමේ කවරෙ ගැලවිලා විසිවෙලා තියෙන්නෙ” ඔහු තවදුරටත් මෙසේ කීවේය.
“සමතුලිත බව නැතිවුණු ඔය තැටිය විනාඩියකට වාර දහස් ගණනක් වේගයෙන් කැරකැවෙනවා. ඒ වාගේ දැඩි කේන්ද්‍රාපසාරී බලයකින් භ්‍රමණය වෙද්දී ඒ බලය කොයි විදිහෙන් හෝ පිටවිය යුතු වෙනවා. මේ වාගේ අනතුරු වළක්වාගන්න ගුවන් නියමුවන් පුහුණු කර තිබෙනවා. ඒ වගේ අවස්ථාවල ඇන්ජිමේ හෝ දැවෙන ඕනෑම අංගයක් එසැණින්ම ක්‍රියා විරහිත කළ යුතුයි. ඉන්ධන, හයිඩ්‍රොලික ඉන්ධන සහිත ඕනෑම අංශයක් එකම ස්විච්ඡයක් භාවිතයෙන් නිවා දැමිය හැකියි.” කොක්ස් කීවේය.
මෙම සිද්ධියෙන් පසුව බෝයිං වර්ගයේ ගුවන්යානාවලට සම්බන්ධ ගුවන් ගමන් දොළොසක් පමණ අවලංගු කොට ඒවා පරීක්ෂාවට ලක් කෙරිණි.
සමන් පුෂ්ප ලියනගේ