සමහර මිනිස්සු කනකර, පිත්තල බඩු දීලා බඩු ඉල්ලනවා. දැන් කතරගම ප්‍රධාන ආහාර වේල වෙලා තියෙන්නෙ වැව් මාළුයි පලා කොළයි. ගම්උදාවේ ගාමන්ට් එක වැහිලා දැන් කාලයක් වෙනවා. පන්ති ගාස්තු සතියක් පරක්කු වුණොත් ඔන්ලයින් පන්තියෙන් ළමයින්ව අයින් කරනවා.
පූජා භූමියට බැතිමතුන් නොයන කල කතරගම ජීවත්වන බහුතරයකට පිච්චිය නැතිව නන්නත්තාර වන බව ප්‍රසිද්ධ කතාවකි. එහෙත් මුළු රටටම සංචරණ සීමා පනවා ඇති මේ දිනවල ‘කතරගම ජනතාව ‘අතරමං’ වී සිටින අයුරු පුදුම සහගතය. ගමේ කඬේට ඇවිත් සීනි ග්‍රෑම් 100, හාල් ග්‍රෑම් 250 ඉල්ලන තරමට අසරණ පවුල් කතරගම ජීවත්වන බව කන වැකුණු විට හදවත හිරිවැටිණි. බත් වේලක් කෑමට හාල් කිලෝවක් ගන්න සල්ලි නැතිව පලා කොළ, කැලෑ අල තම්බාගෙන කා කුස ගින්දර නිවාගන්න දරු පවුල් දකින විට දෑස් අඟ කඳුළු බිංදු ඉපදිණි. එහෙත් මාසයකට දෙතුන් දිනක් කතරගම දෙවියන් වඳින්න යන ‘භක්තිවන්ත’ ඉහළ බලධාරීන්ට සහ නිලධාරීන්ට දෙවියන්ගේ අඩවියේ කුසගින්දරේ දුක්විඳින මිනිසුන්ගේ අඳෝනා නොඇසීම නම් දේව ශාපයක්මය.
‘‘කතරගම පූජා භූමියට බැතිමතුන් පැමිණීම නතරවීමත් එක්ක අපිට රුපියලක ආදායමක් නැතිව ගියා. දැන් මාස තුනකට වැඩියි. මේ වෙනකොට දරුවන්ට බත්වේලක් කන්න දෙන්න අතේ සතේ නෑ.’’ ඒ අසරණ හඬ අර්ෂරත්නම්ගේය. කතරගම කෑම කඩවල වේටර් වැඩ කරමින් ජීවත්වන ඔහුට දරුවො පස්දෙනෙකි. ස්වාමියා අතහැර ගිය දියණිය සහ ඇයගේ දරුවන් සිව්දෙනෙකු ජීවත් කරනුයේ ද අර්ෂරත්නම්ය. හරි හැටි ජීවත්වීමට ගෙයක් දොරක්වත් නැති මේ මිනිසුන්ට බොන්න වතුරත් නැති වන දිනය වැඩි ඈතක නොවන බවට අනතුරු ඇඟවීම් ද ලැබී හාමාරය.
‘‘බිල් ගෙව්වෙ නැති නම් ලයිට්, වතුර කපන්න වෙනවා කියලා නිලධාරීන් ගෙවල්වලට ඇවිත් කියලා ගියා. දරුවන්ගේ කුසගින්දර නිවන්න පනම් හතරක් සොයාගන්න බැරිව ලතවෙන අපිට බිල් ගෙවන්න සල්ලි කොහෙන්ද මහත්තයො. අපි ගැන අනුකම්පා කරලා, මේ දවස් ටිකටවත් ලයිට්, වතුර බිල්වලට සහනයක් සලසන්න කියලා රජයෙන් ඉල්ලා සිටිනවා.’’ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා සේ පවතින රජය විසින් ජනතාව පිට බර කන්දරාවක් පටවමින් අතිශය පීඩනයකට පත්කර සිටින බව මන්දබුද්ධික නොවන ඕනෑම ළදරුවකුට වැටහෙන බව සැබෑය. රටේ පවතින බඩු මිල, අත්‍යවශ්‍ය සේවා ගැන කතා කිරීම ලේ රත්වීමකි.
කතරගම ග්‍රාමසේවා වසම් පහක ජීවත්වන පවුල් හැටතුන්දහස්ගානකින් සීයට හැත්තෑවකටත් වැඩි පවුල් සංඛ්‍යාවක් ජීවත්වනුයේ වන්දනා බැතිමතුන් සඳහා පූජා ද්‍රව්‍ය, රසකැවිලි, විසිතුරු භාණ්ඩ සහ නවාතැන් ආදී විවිධ පහසුකම් සපයමිනි. 2019 වර්ෂයේදී සහරාන්ලා විසින් මෙරට ක්‍රිස්තියානි දේවාස්ථානවලට පහරදීමත්, කොරෝනා පළමු, දෙවැනි රැලි පැමිණීමත් සමඟ කනකර උකස් කර ලබාගත් මුදල්වලින් තම පවුල් පෝෂණය කළ කතරගම දිළිදු මිනිස්සු දැන් ඇඳිවතට පමණක් සීමා වී සිටින්නාහ. වල්ලිමාතාගම, නාගහවීදිය, ගෝතමීගම, කඳසුරිඳුගම සහ සෙල්ලකතරගම ජීවත්වන බොහොමයක් පවුල්වල උදවිය දවසටම කන්නෙ එක බත් වේලක් පමණක් බව එම ප්‍රදේශවාසීන් පවසන විට නළල් තලය හීනියට තෙමිණි.
‘‘සමහර මිනිස්සු කඬේට ඇවිත් හාල් දෙසීයපනහ ඉල්ලනවා. සීනි ග්‍රෑම් 50 ඉල්ලනවා. අපිටත් දුකයි. ඒත් කිරලා දෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ. එහෙම ඉල්ලගෙන එන මිනිසුන්ට හාල් කිලෝවක්, සීනි කිලෝවක් දෙන්න අපිටත් පුළුවන්කමක් නෑ. අපි බඩු ගන්නෙත් සල්ලි වලට. දැන් තොග වෙළෙන්දො ණයටවත් වැඩිපුර බඩු ටිකක් දෙන්නෙ නෑ. හැම තැනම අවුල්.’’ සිල්ලර බඩු කඬේක මුදලාලි කෙනෙක් අප සමඟ කතා කරමින් කතරගමට අත්ව ඇති ඛේදජනක තත්ත්වය එසේ පැහැදිළි කළේය.
‘‘මේ මෑතක අම්මා කෙනෙක් හාල් කිලෝ කිහිපයක් ගෙනත් මට දීලා සල්ලි ඉල්ලූවා.’’
‘මිනිස්සුන්ට බත් වේලක් කන්න නැතිව දුක්විඳින මේ දවස්වල හාල් විකුණන්නෙ ඇයි කියලා මම ඇහුවා.’
‘බඩගින්නට වඩා දරුවන්ට උගන්වන එක ලොකුයි මුදලාලි. හොඳට ඉගෙනගත්තොත් දවසක උන් හොඳට කාලා බීලා දුකක් නැතිව ජීවත් වෙයි. ඒ නිසා අපි නොකා හරි දරුවන්ට උගන්වනවා. මේ හාල් ටික විකුණන්නෙ ඔන්ලයින් පන්තියේ පීස් ගෙවන්න. පන්ති ගාස්තු ගෙවන්නෙ නැතිව සර් පන්තියට ගන්නෙ නෑ. අනේ මුදලාලි මේ හාල් ටික අරගෙන සල්ලි දෙන්න’. ඒ ගෑනු කෙනාගේ කතාවට මගේ හිත වාවන්නෙ නැතිව ගියා. පස්සෙ මම හාල් ටිකත් දීලා, තියෙන වේලාවක දෙන්න කියලා රුපියල් දාහක් දුන්නා. සමහර ගෑනු චූටි කරාඹු ජෝඩු අරගෙන ඇවිත් දීලා බඩු ඉල්ලනවා. මම නම් ඒවා අරගෙන බඩු දෙන්නෙ නෑ. ණයට බඩු දෙන්නෙත් නෑ. ණයට දීලා කරන්න බෑ. අපිත් මේ කඩෙන් ලැබෙන ආදායමෙන් තමයි තුන්වේල කාලා ජීවත් වෙන්නෙ. ඒ වගේම ඔන්ලයින් පන්ති කරන සමහර ගුරුවරුත් හරිම ආත්මාර්තකාමියි. එක සතියක් පන්ති ගාස්තු පරක්කු වුණොත් ළමයින්ව පන්තියෙන් අයින් කරනවා. පන්ති ගාස්තු ගෙවාගන්න සල්ලි නැතිව මේ ගම්වල ගොඩක් ළමයින්ට දැන් ඔන්ලයින් අධ්‍යාපනයත් නැතිව ගිහින් තියෙනවා.’’ කතරගම කුඩා සිල්ලර බඩු වෙළෙඳසැලක මුදලාලිගේ කතාවට වල්ලිමාතාගම වෙළෙඳසැලක ව්‍යපාරිකයෙක් ද මෙසේ අඩු වැඩි කළේය.
‘‘සමහර මිනිස්සු’’ කඬේට ඇවිත් බඩු ඉල්ලන විදිහට අපිත් අසරණ වෙනවා. කොරෝනාවලට තේ වතුර බෙහෙතක් වුණත් මේ ගම්වල සමහර මිනිස්සුන්ට කහට බොන්නවත් තේ කොළ ග්‍රෑම් 100 ක් ගන්න සල්ලි නෑ. එළවළු ලොරි එනකොට මේ මිනිස්සු වත්තෙ කඩුල්ල ළඟට ඇවිත් බලාගෙන හූල්ලනවා. ලොරිකාරයොත් තෙල් පුච්චගෙන ගම් පුරා ඇවිඳලා එළවළු ටිකත් අරගෙන යනවා. එළවළු ලොරිකාරයො අපිට ඇවිත් කියනවා සමහර මිනිස්සු පිත්තල බඩු දීලා එළවළු ඉල්ලනවා කියලා. දැන් මේ ගම්වල ගොඩක් දෙනෙකුගේ ප්‍රධාන ආහාරය වෙලා තියෙන්නෙ වැව් මාළුයි පලා කොළයි. වැවෙන් මාළු අල්ලගෙන, වත්ත පිටියේ, වැව් පිටියක තියෙන පලා වර්ගයක් නෙලාගෙන මාළු උයලා පලා කොළ තම්බලා කනවා. ඒ වගේම දැන් මේ
ගම්වල ගස්වල ගෙඩිත් හොරෙන් කඩාගෙන යන තරමට හොරකමත් වැඩිවෙලා.
මේ සංචරණ සීමා තව දිග්ගැස්සිලා කතරගමට බැතිමතුන් එන්නෙ නැතිව ගියොත් මේ ගම්වල මිනිස්සුන්ට මැරෙන්න වෙන්නෙ කොරෝනා හැදිලා නෙමෙයි, කුසගින්දර දරාගන්න බැරිව.’’ මේ වන විට කතරගම පවතින ආර්ථික අහේනියත් සමඟ එම වෙළෙඳ ව්‍යාපාරිකයා අවසානයට කියූ කතාව වචන වලට සීමාකර අමතක කිරීමට නොහැකිය. එමෙන්ම කතරගම ගම්පුරා ගමන් කළ අපට ප්‍රදේශවාසීන් අතරින් ඇසුණු දුක්ගැනවිලි කන්දරාව ද එමටය.
‘‘අම්මයි, තාත්තයි අල හොයන්න කැලේ ගියා. නංගිලා, මල්ලිලා බඩගිනි කියනකොට හාල් චුට්ටක් තිබිලා උයලා, පොල් සම්බෝලයක් හදලා එයාලට කවනවා. අල්ලපු ගෙදර චූටි අයත් බඩගිනි කියලා අඬනකොට ඒ අයටත් කතා කරලා බත් කටක්, දෙකක් කැව්වා. වෙන ්වෙනම පිඟන්වලට බෙදා දෙන්න මදි. බත් චුට්ටයි. එක්කෙනාට බත් අහුරු තුන ගානෙ කැව්වා. මම කෑවේ එක අහුරයි. වැඩියෙන් වතුර ටිකක් බොනවා’’ වල්ලිමාතාගම දිළිඳු පැල්පතක ජීවත්වන ගැහැණු දරුවකුගේ මුවින් ඇසුණු ඒ වචන හදවතට දරාගැනීමට අසීරු විය. එම දරුවන් ඇසුරෙහි තවත් රැඳීම සිත පාලනය කරගැනීමට අසීරුය. එහෙයින් අපි ඔවුන්ගෙන් සමුගෙන නැවත ගමන් ආරම්භ කළෙමු. මේ අවාසනාවන්ත තත්ත්වයට කතරගම මිනිසුන් පත්ව සිටින්නේ ද ඔවුන්ගේම වරදින් සහ රිලා, වඳුරො ආදී විවිධ වන සතුන්ගේ වගා හානියේ ප්‍රතිඵලයක් ලෙස බව කතරගම ඇතැම් ප්‍රදේශවාසීහු අප සමඟ පැවසූහ. රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කතරගම ශ්‍රී අභිණවාරාමාධිපති ශාස්ත්‍රපති කපුගම සරණතිස්ස නායක හාමුදුරුවෝ ද ඒ කතාවම අපට පැවසූහ.
‘‘පිටරටින් බඩු එනකම් බලාගෙන ඉන්නවා වගේ මේ ගම්වල බහුතරය බලා ඉන්නෙ වන්දනාකාරයො එනකං. වෙන කිසිම වෘත්තීය පදනමක්, කෘෂිකාර්මික පදනමක් කතරගම නෑ. කුලී වැඩක් තියෙන්නෙත් මිනිස්සුන්ගේ අතට සල්ලි ආවොත් විතරයි. අනිත් බොහෝ පළාත් වල වතුවල කොස්, දෙල්, පොල් ගෙඩියක් කඩාගන්න ගහක් දෙකක් හරි තියෙනවා. කතරගම ගෙවත්තක කොස්, දෙල්, පොල් ගහක් තියෙන්නෙත් කලාතුරකින්. වන්දනාකාරයො පස්සෙ දුවනවා විනා ගෙදර වත්තෙ ගහක් කොළක් හිටවගන්නවත් මේ මිනිස්සු මහන්සි වෙන්නෙ නෑ. මහන්සි වෙලා වගාකරන මිනිස්සුන්ටත් ජල ගැටලූව, වන සතුන්ගේ ප්‍රශ්නවලින් කෙළවරක් නෑ. ඒ නිසා මේ වගා පාළු කරන වඳුරො, රිලවුන්ගේ ග්‍රහණය පාලනය කිරීමට යම් උපත් පාලන වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්න කියලා අකමැත්තෙන් හරි මම මතක් කරනවා. ඒ වගේම අබලන් වෙච්ච වැව් අමුණු ටික හදලා කතරගම මිනිසුන්ව ස්ථිරසාර ජීවන රටාවකට හුරු කරන්න කඩිනම් වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්න කියලත් අදාළ ආයතනවලට කියනවා. මේ කොරෝනා ව්‍යසනය අද, හෙට නතර වෙයි කියලා කියන්න බෑ. ඒ වගේම කොරෝනාවට වඩා වැඩි ව්‍යසන මතුවට එන්න පුළුවන්. ඒවාට මුහුණ දෙන්න අපි සන්නද්ධ වෙන්න ඕනෑ.’’
‘‘කතරගම කියන්නෙ වෙල්ලස්සෙ කොටසක්. වෙල් ලක්ෂයක් තිබුණු, මාගම රාජධානිය පැවති හොඳ සක්‍රීය ප්‍රදේශයක්. අපේ රට අක්‍රමණය කළ සුද්දො වැව් අමුණු කඩාබිඳ දාලා මේ ප්‍රදේශය සම්පූර්ණයෙන්ම විනාශ කළා.
නිදහසින් පසු නැවත කතරගම පොළව වගා බිමක් කරන්න අපේ මිනිස්සුන්ට අවශ්‍ය වුණේ නෑ. බැතිමතුන්ගේ පස්සෙම වැටීගෙන හිටියා. කතරගම ප්‍රදේශයේ වැව් අමුණු හාරලා ප්‍රතිසංස්කරණය කරන්න දැන් යම් පිරිසක් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙ වැවෙන් ගොඩ දාන පස් ටික විතරයි. එහෙම හරි දීලා මේ වැව් අමුණු ටික හාරන්න ඕනෑ කියන මතයේ මම ඉන්නවා. ඒ වගේම ගම්උදාව ඇතුළේ පේ‍්‍රමදාස ජනාධිපතිතුමා හදපු ගාමන්ට් එකක් තියෙනවා. ඒ ගාමන්ට් එකේ ළමයි තුන්සීයක් විතර වැඩ කළා. සේවකයන්ට පඩි වැඩි කරන්න කියලා ජේ.වී.පී. වෘත්තීය සමිතියකින් උද්ඝෝෂණයක් කිරීමත් එක්ක ඒ ගාමන්ට් එක පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයො වහලා දාලා ගියා. එදා ඉදලා ඒ ගොඩනැඟිලි වහලා දාලා කිසිම ප්‍රයෝජනයකට ගන්නෙ නෑ. රජය මැදිහත් වෙලා ඒ කර්මාන්තශාලා නැවත ආරම්භ කරනවා නම් ළමයි තුන්සීයක් හරි කීයක්හරි උපයා ගන්නවා. තවත් ඒ වගේ කර්මාන්ත ඇති කරන්න ඕනෑ. දැන් ඉස්සර වගේ නෙමෙයි ගුවන් තොටුපළ, වරාය අත ළඟ. කොළඹට යනකං කාපට් පාරවල්. දැන් කතරගම මිනිස්සුන්ට බැතිමතුන්ට දත නියවගෙන ඉන්න අවශ්‍ය නෑ. රජයත්, පෞද්ගලික අංශයත් මැදිහත් වෙලා කර්මාන්තශාලා ආරම්භ කරන්න පටන් ගන්න. ඉඩම් ඕනෑ තරම් තියෙනවා. අපිත් උදව් කරනවා.’’ උන්වහන්සේගේ අදහස් දැක්වීම ද අපට වැටහිණි.
කතරගම ප්‍රදේශවාසීන් කිහිපදෙනෙක්ම සරණතිස්ස හාමුදුරුවන්ගේ කතාවට සමාන අදහස් ප්‍රකාශ කළ බව ද සැබෑය. එහෙත් අදහස් ප්‍රකාශ කිරීම් මතම දිගු කාලයක සිට පුරුදු වී සිටින ජීවන රටාවක්, කතරගම පූජා භූමිය සමඟ බැඳුණු උප සංස්කෘතිය වෙනස් කිරීම තරමක් අසීරු කාර්යයකි. බැතිමතුන්ගෙන් යැපෙන මානසිකත්වයෙන් මිදී, වගා කර්මාන්තයක හෝ වෙනත් කර්මාන්තයක නියැලීමට කතරගම ජනතාව හුරුකරවීමට කාලයක් ඇවසිය. කතරගම වගාබිම්වලට පැමිණෙන වන සතුන් පාලනය කිරීමට ද අදාළ ආයතනවලට කාලයක් ඇවැසිය. එහෙත් ක්රමාණුකූලව යැපුම් මානසිකත්වයෙන් කතරගම මිනිසුන්ව මුදවාගත යුතුය. එමෙන්ම වගා බිම් පාළු කරන වඳුරො, රිලවු, මොණරු පාලනය කිරීමට අදාළ ආයතන වලින් විධිමත් වැඩපිළිවෙලක් හඳුන්වාදිය යුතුය. ඒ සියලූ පරිවර්ථනයන් සිද්ධ කිරීමට කොරෝනා වසංගතයේ යම් පාලනයක් තිබිය යුතුය. එමෙන්ම කතරගම පූජා භූමියට බැතිමතුන්ගේ පැමිණීම සුපුරුදු පිරිදි සිදුවීමට තව කොපමණ කාලයක් ගතවේද යන්න ඉඟියක්වත් කළ නොහැකි තරම්ය. එවැනි තත්ත්වයක් මත වල්ලිමාතාගම දුප්පත් මිනිසෙක් කියූ කතාව දැන් අපි කතරගම බැතිමතුන්ට මතක් කර සිටින්නෙමු.
‘කතරගම උත්සව කාලයට දානපති පවුල් පිටින් ඇවිත් අපේ ගම් පුරා ඇවිදිමින් කෑම බීම, වියළි ආහාර, ඇඳුම් පැළදුම් බෙදා දීලා ෆොටෝ ගහගෙන යනවා. ඒ කාලවලට අපේ ගම්වල මිනිස්සුන්ටත් අඟහිගකම් නෑ. ඒත් දැන් අපිට තේ උගුරක් බොන්න සීනි කාලක්, තේ කොළ ග්‍රෑම් 50 ක් ගන්නවත් සල්ලි නෑ. දැන් අපේ කුසගින්දර නිවාගන්න බඩු මල්ලක් ගෙනත් දෙනවා නම් ඒක උතුම් පිනක්.’ නිශ්ශංක වර්ණකුලසූරිය කතා කළේ අපට නොවේ, ඔබටය.
බත් වේලක් කෑමට වත්කමක් නැතිව අන්ත අසරණ තත්ත්වයට පත්වී සිටින කතරගම මිනිසුන්ට සරණක්වීමට සිතක් පහළ වීද? එය යථාර්ථයක් බවට පත්කරලීමට අප්‍රමාදි වන්න. එය ඔබ සංසාරයට කරගන්නා උතුම්ම පින්කමක් බව නිසැකය. එමෙන්ම අදාළ බලධාරීන් ද මේ මිනිසුන්ගේ කුසගින්දර නිවීමට යම් කඩිනම් වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ යුතුය. කතරගමට පැමිණෙන බැතිමතුන්ගෙන් සහ සංචාරකයන්ගෙන් යැපෙන මිනිසුන් ද අත්ව ඇති ‘කුසගින්දර’ පාඩමක් කරගෙන යම් කර්මාන්තයක නියැලෙමින් තම දරුවන් ද යැපුම් මානසිකත්වයෙන් මුදවාගැනීමට කටයුතු කිරීමට අදිටන් කරගත යුතුය.
තරංග රත්නවීර
කතරගම – කේ. ඞී. දේවප්‍රිය