ඊයේ ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව සුවිශේෂී පනතක් සම්මත කළා. එහි අන්තර්ගත වූයේ ගූගල් සහ ෆේස්බුක් වැනි ආයතන තමන්ගේ ඔන්ලයින් වේදිකා මත බෙදා හදා ගන්නා ඔස්ට්‍රේලියානු ප්රවෘත්ති සඳහා අදාළ මාධ්‍ය ආතනවලට ගෙවීමක් කළ යුතු බවයි.
ඊට ප්‍රතිචාර දක්වමින් ෆේස් බුක් ආයතනය අද සිට ඔස්ට්‍රේලියානු ප්රවෘත්ති ඇතුළත් සියලුම ගිණුම් හා පිටු අවහිර කර තිබෙනවා. එසේ කිරීමේදී ඔස්ට්‍රේලියානු රජයේ සෞඛ්‍ය උපදේශන පිටු, ලැව් ගිනි වැනි හදිසි ආපදාවලදී ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් පවත්වාගෙන ගිය පිටු, කුඩා ව්‍යාපාරිකයින්ගේ ව්‍යාපාර පිළිබඳ තොරතුරු ඇතුළත් පිටු ආදියත් ‘ප්රවෘත්ති’ යන නිර්ණායකයට යටත් කොට අවහිර කර තිබෙනවා.
මේ පිළිබඳව මෙරට දේශපාලකයින්ගෙන් හා ජනතාවගෙන් එල්ල වූ බලපෑම හමුවේ සෞඛ්‍ය, හදිසි සේවා වැනි අංශයන්ට අයත් ෆේස් බුක් පිටු හා ඇතැම් කුඩා ව්‍යාපාරිකයින්ගේ ව්‍යාපාර තොරතුරු ඇතුළත් පිටු යළි ස්ථාපිත කිරීම කෙරෙහි ෆේස් බුක් ආයතනය සලකා බලමින් සිටිනවා.
ඔස්ට්‍රේලියානු අගමැතිවරයා මේ පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේ ෆේස් බුක් ආයතනය උද්දච්ඡ ලෙස ඔස්ට්‍රේලියාව තම මිතුරු ලැයිස්තුවෙන් ඉවත් කර ඇති බවයි.
විපක්ෂයට බලය පවතින බටහිර ඔස්ට්‍රේලියාවේ මහ ඇමතිවරයා තම කෝපය පළ කර තිබුණේ සකර්බර්ග්ව උතුරු කොරියානු නායකයාට සමාන කරමිනුයි.
ෆේස් බුක් ආයතනය මෙසේ හැසිරෙද්දී ගූගල් සමාගම මෙරට මාධ්‍ය ආයතන සමග ගෙවීම් සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණ තිබෙනවා.
උද්ගත ඇති තත්ත්වය පිළිබඳව ඔස්ට්‍රේලියානු රජය හා ෆේස් බුක් ආයතනය අතර තවදුරටත් සාකච්ඡා පැවැත්වෙමින් තිබෙනවා. කෙසේ වෙතත් රජය පවසන්නේ තමන් ෆේස් බුක් වැනි දැවැන්ත සමාගම් ඉදිරියේ දණ නොනමන බවයි.
මේ අතර ඇමරිකානු රජය ඔස්ට්‍රේලියාවෙන් ඉල්ලා ඇත්තේ මතභේදයට ලක්ව ඇති පනත හකුලා ගන්නා ලෙසයි.
තිලිණ මලලසේකර – ඕස්ට්‍රේලියාව