යුරෝ කුසලාන පාපන්දු තරගාවලියේ ජය වසර 53කට පසු ඉතාලිය හිමි කර ගනියි.
එංගලන්තය හා ඉතාලිය අතර පසුගියදා පැවැති අවසන් තරගයේ දඬුවම් පහර 3-2කින් ඉතාලිය ජය ලැබීය. තරගයේ නියමිත කාලයේදී හා අතිරේක කාලයේදී දෙපිලම ගෝල් 1-1ක් ලෙස සම තත්ත්වයක පසු වීම හේතුවෙන් දඩුවම් පහර මගින් ජය තීරණය විය. මෙම ජයත් සමග ඉතාලියට යුරෝ මිලියන 10ක් (ශ්‍රී ලංකා රුපියල් මිලියන 2360ක්) හිමි වූ අතර අනුශූරයන් වූ එංගලන්තයට යුරෝ මිලියන 7ක් (ශ්‍රී ලංකා රුපියල් මිලියන 1652ක්) හිමි විය.
ඉතාලි පාපන්දු පිලේ ගෝල් කීපර් ගියාන්ලුගී ඩොනමුර්රා එංගලන්තයේ දඬුවම් පහර දෙකක් ගෝලය තුලට යා නොදී රැකගත් හේතුවෙන් මෙම ජයග්‍රහණය තහවුරු විය. තරගයේ පළමු භාගයේදී එංගලන්තය ගෝල් 1-0ක් ලෙස පෙරමුණගත් අතර ෂෝ පළමු ගෝලය 2වැනි මිනිත්තුවේදී වාර්තා කළේය.
යුරෝ 2020 අවසන් මහා තරඟයේදී එංගලන්තය ඉතා ඉක්මනින් පෙරමුණ ගෙන ජයග්‍රාහී මානසිකත්වයක් ඇති කර ගත්ත ද, 66 වැනි මිනිත්තුවේදී ඉතාලියේ බොනූචි ගෝල් 1-1 ක් බවට පත් කිරීමට සමත් විය. මෙතැන් පටන් එංගලන්තයේ වෙම්බ්ලි ක්‍රීඩාංගණයේ උණුසුම එන්න එන්නම වැඩි විය.
දඩුවම් පහර එල්ල කිරීමේදී දෙපිලම පළමු ප්‍රහාර දෙකම ගෝල් කණුව ඇතුලටම එල්ල කිරීමට සමත් විය. ඉතාලියේ දෙවැනි දඩුවම් පහර අසාර්ථක වූ අතර එංගලන්තය දෙවැනි පහර සාර්ථක කර ගත්තේය. එහෙත් එංගලන්තයේ තෙවැනි, සිවු වැනි හා පස්වැනි දඩුවම් පහර තුනම අසාර්ථක වූ හෙයින් ඉතාලියේ ජය තහවුරු විය.
මෙම තරගාවලියේ අවසන් පූර්ව වටයේදී ඉතාලිය විසින් දඩුවම් පහර 4-2කින් ස්පාඤ්ඤය පරාජය කළ අතර එංගලන්තය ගෝල් 3-2කින් ඩෙන්මාර්කය පරාජයට පත් කළහ. මෙම තරගාවලියේදී ගෝල් 5ක් වාර්තා කළ පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ යුරෝ කුසලාන පාපන්දු ඉතිහාසයේ මෙතෙක් වැඩිම ගෝල් වාර්තා කළ ක්‍රීඩකයා ලෙස ගෝල් 14ක් වාර්තා කිරීමට සමත් විය.