ලෝකය සලිත කළ කොවිඩ් 19 වසංගතය සිය දහස් ගණන් දිනකට ආසාදනය කරද්දී තවත් සැඟවුණු මාරකයක් හීන්සීරුවේ ජීවිත බිලිගනිමින් පැතිර යයි. ඒ සියවස් ගණනාවක් තිස්සේ මිනිසා මුහුණදෙන දරුණුතම සෞඛ්‍ය ගැටලුව වන පිළිකා රෝගයයි. ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය ජානකි විදානපතිරණ මහත්මියට අනුව මේ වනවිට දිනකට පිළිකා රෝගීන් 80කට ආසන්න සංඛ්‍යාවක් වාර්තාවන තරමටම අපේ රෝග ව්‍යාප්ත තත්ත්වයද භයානකය. පසුගිය වසරේ සැප්තැම්බර් වනවිට මේ සංඛ්‍යාව 64ක්ව තිබුණි. මේ නිසාම ඉතා සුළුකාලයක් තුළ ඉහළ මට්ටමේ පැතිර යාමක් සිදු තිබේ.
ලංකාවේ මේ පිළිකා වර්ධනයට මූලිකවම වගකිව යුතු සාධක ලෙස අධ්‍යක්ෂවරිය පෙන්වා දෙන්නේ මත්පැන් සහ දුම්කොළ භාවිතයත් සෞඛ්‍ය සම්පන්න නොවන අහාර රටාවත්ය. මෙරට තුළ වසරකදී 3,50,000ක් උපදින විට 1,40,000ක්ම මියයන බව වාර්තා වෙයි. ඒ මියයන සංඛ්‍යාවෙන් 10%ක් එනම්, 14,000ක්ම පිළිකා රෝගීන් වීම අතිශය ඛේදජනක තත්ත්වයකි.එහෙත් මෙම පිළිකා මරණ අතුරින් 1/3 ක් ම වැළක්විය හැකි වන බවත් එදිනෙදා ජීවන රටාවේ සිදු කරගත හැකි යහපත් චර්යාමය හේතුන් මඟින් පිළිකා ඇතිවීමේ අවදානම අවම කරගත හැකි බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය ජානකි විදානපතිරණ මහත්මිය පෙන්වා දෙයි.
ලෝක පිළිකා තත්ත්ව නිරීක්ෂණ දත්ත වාර්තාවන් පෙන්වා දෙන්නේ ලංකාවේ කාන්තාවන් අතර බහුලම පිළිකා වර්ගය පියයුරු ආශ්රිත පිළිකා බවය. තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්රිත පිළිකා දෙවැනි තැනට බහුලත්වයක් දක්වයි. ගැබ්ගෙළ පිළිකා සහ ගුද පිළිකාද ඒ හා සමානවම ඩිම්බකෝෂ ආශ්‍රීත පිළිකාද පිළිවෙළින් බහුලව පැතිර තිබේ.
අප රටේද පිරිමින් අතර බහුලම මුඛ පිළිකාය. ඉන්පසු දෙවැනි තැන ගෙන ඇත්තේ පෙනහළු ආශ්රිත පිළිකාය. ආහාර මාර්ගයේ ඉහළ කොටස ආශ්රිත පිළිකා මෙන්ම පහළ කෙළවර ආශ්රිත පිළිකා ඊළඟට පිළිවෙළින් බහුලය. ලියුකේමියා තත්ත්වය බහුලව ඇත්තේද පිරිමින් තුළය.
මෙම වාර්තාවට අනුව මෙරටින් අලුතෙන් වාර්තා වූ පිළිකා රෝගීන් ගණන 29 604කි. ඒ අනුව එය දිනකට පිළිකා රෝගින් 81.10ක් තරම් වූ වර්ධන වේගයකි. මරණ සංඛ්‍යාව 16,691කි. ඒ කියන්නේ දිනකට මරණ 45කට ආසන්න භයානක තත්ත්වයකි. ඊට පෙර වසරේ දිනකට රෝගීන් 64ක් වාර්තා වූ අතර මරණ 38ක් විය. දැන් මේ සංඛ්‍යාව දෙගුණයකටත් වඩා වැඩිය.
පිළිකාව වැළඳීමේ ඉඩකඩ අඩුකිරීම සෞඛ්‍ය අංශයට පමණක් තනිව සිදුකළ හැකි දෙයක් නොවන අතර ඒ සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් රටක් ලෙස බොහෝ දේ සිදුකළ යුතුව ඇත. එහිදී ජනතාවගේ කැපවීමද ප්‍රධානය. පෙනහළු පිළිකාව සඳහා දුම්පානය ප්‍රධානතම හේතුව වන අතර මත්පැන් පානය කිරීමද පිළිකා ඇතිවීමට බලපාන ප්‍රධානතම හේතුවකි. වායු දුෂණයද මෙරට පිළිකා ඇතිවීම කෙරෙහි තදින්ම බලපාන බවත්, මිනිසුන් විසින් පොලිතීන් පිළිස්සීමද ඊට ප්‍රධානතම සාධකයක් වන බවත්, ඉන් ඇතිවන විෂ වායු වායුගෝලයට මුදාහැරීම නිසා පිළිකා වැළඳීමේ ඉඩකඩ ඉතා වැඩි බවත් මෙහිදී අවධානයට ගත යුතුය. කෘත්‍රිමව සැකසූ ආහාර නිරන්තර භාවිතය සහ දියවැඩියා රෝගී තත්ත්වයද මෙම අධික පිළිකා වර්ධනයට බලපා තිබේ. සෞඛ්‍ය සම්පන්න නොවන අවිධිමත් ජීවන රටාවද ව්‍යායාම හිඟකම යනාදී කරුණුද මීට බලපානු ලබන ප්‍රධාන සාධකය.
පලා වර්ග හා පළතුරු වර්ග ආහාරයට නොගැනීම හෝ අඩුවෙන් පරිභෝජනයද රතු මස් වර්ග වැඩියෙන් ආහාරයට ගැනීමද බඩවැල් ආශ්රිත පිළිකා බහුලවීමට ප්‍රධාන හේතුවකි. බව මහරගම අපේක්ෂා රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක 2006 සිට සිදුකරන ලද සමීක්ෂණ වාර්තාවකින් හෙළිකර තිබුණේ තුන් වේලටම ගවමස් පරිභෝජනය කරන්නන් බඩවැල් ආශ්රිත පිළිකා වැළඳුණු අය අතර වැඩි වශයෙන්ම සිටින බවය.
ලංකාව සහ ඉන්දියාව ප්රමුඛ කලාපයේ මුඛ පිළිකාව බහුලය. කොළ පැහැයෙන් ඇති රටවල පිමින් අතර පුරඃස්ථ ග්‍රන්ථි පිළිකාව ඉහළය. නිල්පැහැය පෙනහළු පිළිකාය. තද නිල් පැහැය ආමාශ බඩවැල් ආශ්රිත පිළිකාය.
දෙවැනි රූපයේ රෝස පැහැයෙන් ලොවපුරා කාන්තාවන් අතර පියයුරු පිළිකා පැතිර ඇති හැටිය දක්වයි. කහ පැහැය ගැබ්ගෙළ සහ ගර්භාෂ පිළිකාවේ ව්‍යාප්තියයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවන්ට අනුව රටවල් 183කින් 112කම මිනිසුන්ගේ ජීවිත වසර 70 වන්නට පෙර බිලිගන්නා අවදානම් සෞඛ්‍ය සාධක අතර පළමු හෝ දෙවැනි තැන ගෙන ඇත්තේ පිළිකාවය. ඉතිරි රටවලද එය තෙවැනි හෝ හතරවැනි ප්‍රධාන මාරකයයි. ලෝකය පුරා මේ තත්ත්වය දිනෙන් දින ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවති.
වසර 2020 තුළ ලෝකයේ පිළිකා රෝගින් ලක්ෂ 193ක් අලුතෙන් වාර්තා වූ බව GLOBOCAN දත්ත පෙන්වා දෙයි. එයට අනුව ලොවපුරා ලක්ෂ 100ක් පසුගිය 2020 වසරේ පිළිකා හේතුවෙන් මියගොස් තිබේ. එය කලින් වසරවලට සාපේක්ෂව දෙතුන් ගුණයක වැඩිවීමකි. එසේම මේ දත්තවලට අනුව කාන්තා පිළිකා රෝගීන්ට සාපේක්ෂව පිරිමින්ගේ මරණ අවදානම දෙගුණයකින් ඉහළය. ගැහුණු පිරිමි භේදයකින් තොරව ලොව පිළිකා මරණවලින් අඩක්ම (58.3%ක්ම) වාර්තා වී ඇත්තේ ආසියානු කලාපයෙනි. එය අපට ලැබෙන නරක අනතුරු ඇඟවීමකි. ලොකයේ අන් කලාප හා සසඳන විට ආසියා (58.3%) සහ අප්‍රිකා (7.2%) කලාපයන්හි සමූහ පිළිකා දායකත්වය ඉහළ ගොස් තිබේ.
සාමාන්‍යයෙන් ආහාර සහ ජීවන රටාවේ වෙනස්කම් අනුව අමෙරිකාව සහ යුරෝපය ආශ්රිත පිළිකා පැතිර යාම ඉහළ යා යුතු යැයි අනුමාන කළ හැකිවුවත් එය එසේ වී නැත. නිදසුනක් හැටියට යුරෝපය තුළින් වාර්තා වී ඇත්තේ ලෝක ජනගහනයට සාපේක්ෂව 22.8%ක රෝගීන් ප්රතිශතයකි. ඒ රටවල පිළිකා මරණ ප්‍රතිශතය 19.6% කි. අමෙරිකාවේදී මේ දත්ත පිළිවෙළින් 20.9% සහ 14.2% තරම් අඩු ප්රමාණයකි. මේ දත්ත අනුව ලෝක ජනගහනයෙන් වැඩි ප්‍රමාණයක් ජීවත්වන සහ ජීවන තත්ත්වය ඒ තරම් උසස් නොවූ කලාපයේ පිළිකා පැතිර යාමේ අවදානම වඩාත් ඉහළ බව තහවුරුව හමාරය.
GLOBOCAN 2020 දත්ත වාර්තාවන්ට අනුව ලෝකයේ බහුලව වාර්තා වන පිළිකා අතරින් 36ක් ප්‍රධාන මාරක ලෙස හඳුනාගත හැකිය. මේ අතරින් කාන්තා පියයුරු පිළිකාව මුල්තැන ගෙන තිබේ. 2020 තුළ ලෝකයේ කාන්තාවන් 2,261,419ක් අතරින් මේ පිළිකාව අලුතෙන් හඳුනාගන ඇති අතර ඒ හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 684,996කි. ඒ අනුව දිනකට 6196ක් මේ පිළිකාවට ගොදුරුවන අතර මේ නිසා දිනකට 1877ක් ලොකයේ මරණයට පත්වෙති.
පෙනහළු පිළිකාව ඒ අන්දමට ගිය වරේ ලොව 2,206,771ක් රෝගාතුර කර ඇති අතර (දිනකට 6046ක්), මිනිසුන් 1,796,144ක් (දිනකට ආසන්න ලෙස 4920ක්) බිලිගෙන හමාරය. මේ වාර්තාවට අනුව ලොව තෙවැනි තැනට වැඩිම පිරිසක් ආතුර වී ඇත්තේ පුරඃස්ථ ග්‍රන්ථි පිළිකාවෙනි. ඒ 1,414,259ක් තරම් (දිනකට ආසන්න ලෙස 3875කි) වූ ප්රමාණයකි. ඒ නිසා සිදුව ඇති මරණ ගණන 375,304කි. (දිනකට 1028කි)
ලොවපුරා පිළිකා පැතිරීමේ විශේෂ රටාවක් දක්නට හැකිය. ඒ අනුව රටවල් 112කම පිරිමින් අතර ප්‍රධාන ලෙස වාර්තා වී ඇත්තේ පුරඃස්ථ ග්‍රන්ථි පිළිකාවය. ඉන්දියාව හා ලංකාව ප්රමුඛ කලාපයේ බහුලම පිළිකාව මුඛ පිළිකාවය. රටවල් 36ක පෙනහලු පිළිකාව ප්‍රධාන තැනක් ගනියි. ගුද හා මහාන්ත්‍ර ආශ්රිත පිළිකා සහ අක්මාවේ පිළිකා පිළිවෙළින් රටවල් 11ක් අතරින් වාර්තාවේ. පිරිමින්ගේ මරණ වැඩියෙන්ම සිදුකර ඇත්තේ පෙනහළු පිළිකා බව මේ දත්ත පෙන්වා දෙයි. රටවල් 93ක මරණ සඳහා මේ පෙනහලු පිළිකාව වගකිව යුතුය. පුරඃස්ථ ග්‍රන්ථි පිළිකාව රටවල් 48ක මරණ සිදුකළ ප්‍රධාන මාරකය වන අතර, තවත් රටවල් 23ක අක්මා පිළිකාව ඒ මාරකයයි.
කාන්තාවන් අතර ප්‍රමුඛතම මාරකය පියයුරු පිළිකාය. රටවල් 159ක්ම එයට ගොදුරු වී ඇත. කාන්තාවන් මරාදමන අනෙක් පිළිකාව ගැබ්ගෙල පිළිකාවය. රටවල් 26ක ප්‍රධාන මාරකය ලෙස එය වාර්තාගතය. මේ සංඛ්‍යා ලේඛන අනුව සෑම කාන්තාවන් 11ක් අතරින් 1ක් අයෙක්, මෙන්ම පිරිමින් 8ක් අතරින් 1 අයෙක්ම පිළිකාවෙන් මියයාමේ අනතුර පවතී. මේ අනුව ලෝකයේ ප්‍රධානතම මාරක ගැටලුව බවට තවමත් පිළිකාව පත්ව ඇති බවට සෞඛ්‍ය අංශ වාර්තා සනාථ කර හමාරය.
සුගත් පී. කුලතුංගආරච්චි