මාර්කෝ පෝලෝ, ඉබන් බතූතා, ක්‍රිස්ටෝපර් කොලොම්බස් මේ මහා නාමයන් තුන වත්මන් ලෝකයේදී අස්සක්, මුල්ලක් නෑර අසන්නට ලැබෙන අපූරු කතාවක් බවට පත්වන්නේ, ලෝක දේශ ගවේෂණය ගැන කරුණු කාරණා කතා කරන විටදීය. මෙයට ශතක 07කට (වසර 700ක්) පමණ පෙරදී සිට ඇසෙන මෙම මහා දේශ ගවේශකයන්ගේ අපූරු, ත්‍රාසජනක ලෝක ගවේශන කතා ලෝක ඉතිහාසයෙහි නොමැකෙන ලෙස සටහන්ව ඇත. ඔවුන් එකල නව ලෝකයක් සෙවීම සඳහා වෙහෙස වුණේ, සියල්ලන්ගේම යහපත වෙනුවෙන් වූ වෙළෙඳ හා වාණිජ කටයුතු දියුණු කිරීම උදෙසාය. අලුතින් විවිධ දේශයන් සොයා ගැනීම සඳහා ඔවුන් සිදුකළ කැපකිරීම අති විශිෂ්ට වූ අතර, එම වගතුග ලෝක ප්‍රජාවට වැදගත් වූ අමරණීය, විසිතුරු එකක්ද විය. ඒ හෙයින්ම කලින් කලට විවිධ නව දේශයන් ලොවට බිහිවන්නටද විය. අතිශය පරාර්ථකාමී මේ දේශ ගවේෂකයන් සිදුකළ මහා මෙහෙවර ලොව රන් අකුරින් ලියැවී ඇත.
කාලය ගෙවී යද්දී ලොවට අලුතින් අපූරු දේශ ගවේෂකයන්ද පිරිසක් බිහිවී ඇත. මෙම අරුම, පුදුම දේශ ගවේෂකයන් ලොව බිහි වන්නට ගත්තේ ඉතාමත්ම මෑත කාලයකදී සිට වන අතර, එනම් එම ඉතිහාසය වසර 50 – 70ක පමණ කෙටි අතීත කාලයකට දිව යයි. තවද මෙහි උච්චතම යුගය දිගහැරෙන්නේ මෙයට වසර 30කට පමණ ඉහතදී සිටය. මෙම විස්මිත දේශ ගවේෂකයන් පිරිස කවුද? මොවුන් නම් තමන් විසින් හොර රහසේ උපයාගත් මහා ආදායම්, ඉතාම කූට අයුරින් සඟවා තැබීමට දේශ, දේශාන්තර සොයාගෙන යන ගවේෂකයන්ය. අනුන්ගේ සුබ සිද්ධිය නිසා නොව, තමන්ගේම පැවැත්ම උදෙසා ඉතාම අසාධාරණ අයුරින් උපයා ගන්නා මහා ධන කන්දරාවන් ඉතාමත් සූක්ෂ්ම අයුරින් තැන්පත් කිරීමට මෙම පිරිස කටයුතු කරති.
මෙම නූතන යුගයේ ගවේෂකයන් සොයා යන්නේ තමන් බොහෝ විට චංචනික අයුරින් උපයාගත් මුදල් යහතින් තැන්පත් කළ හැකි ආරක්ෂාකාරී බැංකු සහ වෙනත් මූල්‍ය ආයතනයන්ය. තමන්ගේ රටේද මෙවැනි ධන සම්භාරයන්ගේ වගතුග හෙළිවන බැවින් ඔවුන් විවිධ දේශ දේශාන්තර සොයා යන්නේ, එවැනි රටවලදී එම ධනය ඉතා පහසුවෙන් සඟවා තැබීමට හැකිවන හෙයිනි. එසේ සිදුකිරීමට ප්‍රධාන හේතුව වන්නේ, එම රටවල් තුළදී තැන්පත් කරන හෝ ආයෝජනය කරන ධනය සඳහා ඉතාමත් අඩු බදු ප්‍රතිශතයන් අයකර ගැනීමය. එසේම මෙම කූට ධන කුවේරයන්ගේ අනන්‍යතාවද හෙළි නොකර වසන් කිරීමටද එම රටවල් කටයුතු කිරීම අනෙක් ප්‍රධානතම කරුණ වෙයි. මෙම මූල්‍ය ක්‍රියාවලිය දැනට ලොව ඉතාමත් ප්‍රබල ලෙස සිදුවන අතර, පසුගිය වසර 25 – 30ක පමණ කාලයකදී එය අතිශය උත්සන්න විය. එනම් කූට අයුරින් මුදල් උපයාගත් මහා ධන කුවේරයෝ තමන්ගේ මුදල් සුරක්ෂිතව තැන්පත් කර තැබීම සඳහා තම තමන්ගේ රටවලින් පිට වෙනත් දේශයන් සොයා දේශ ගවේෂණය සිදුකරන්නට වූහ. මෙම කූට පිරිසට පසුගිය කාලයේ අපගේ ශ්‍රී ලංකාවේ දේශ ගවේෂකයන්ද අයත් විය.
මෙලෙස විවිධ නිදහස් සහ රහසිගත ක්‍රමවේදයන් හරහා මුදල් තැන්පත් කළ හැකි රටවල් හඳුනාගන්නා එක්තරා ප්‍රකට නාමයක්ද වෙයි. අද ලොව පුරා ඇති මෙවැනි දේශයන් හඳුන්වන්නේ ‘ටැක්ස් හැවන්ස්’ (ඕං ්යැ්ඩැබි) නොහොත් ‘බදු ස්වර්ගයන්’ ලෙසිනි. එසේත් නැතිනම් ‘බදු සුරපුරවල්’ ලෙසිනි. මේ අනුව මේ වන විට ලොව පුරා පිළිගත් රටවල් රාශියක් වන අතර, ඒවායෙහි නම්ගම්ද නිල වශයෙන් ප්රකාශිතව ඇත. මෙම රටවල්වල තිබෙන රාජ්‍යයන් සහ අනෙකුත් මූල්‍ය ආයතන රැසක්ම මෙලෙස විදෙස් රටවලින් මුදල් ගෙන එනු ලබන ධනවත් පුද්ගලයන්ට අවශ්‍ය සියලු සහන සලසනු ලබයි. එසේම ඔවුන්ගේ ධන සම්භාරයන්ට අවශ්‍ය සියලු ආරක්ෂාවද උපරිමයෙන් ලබාදෙයි. එසේම මෙලෙස තම රටවල මුදල් තැන්පත් කරන පුද්ගලයන්ගේ අනන්‍යතාව සහ රහස්‍යභාවයද ඉහළින්ම රැකගනී. තවද නීතිමය හෝ අධිකරණමය වශයෙන් එම ධන සම්භාරයන් ගැන කිසිදු සොයා බැලීමක් සිදු කරන්නේද නැත. මේ ආකාරයට පසුගිය කාලයක් පුරාම ලොව වටා සිටින විවිධ ව්‍යාපාරිකයන් මෙන්ම දේශපාලකයන්ද මෙලෙස තමන්ගේ මුදල් තැන්පත් කළ අතර, විවිධ ජාවාරම්කරුවන් සහ අපරාධකරුවන්ද එය සාර්ථකව සිදුකළේය.
මේ වන විට ලොව අතිශය ප්රකටව පිළිගත් ප්‍රධානතම ‘බදු ස්වර්ගයන්’ මෙසේය.
ස්විස්ටර්ලන්තය, ලක්ස්සෙම්බර්ග්, අයර්ලන්තය, නෙදර්ලන්තය, මැකාවු, ලිච්ටෙන්ස්ටයින්, හොංකොං, සිංගප්පූරුව, සයිප්‍රස්, මෝල්ටා, තායිවාන්, බි්රතාන්ය වර්ජින් දූපත්, බෙර්මුඩා, කේමන් දූපත්, සමෝවා දූපත, මාෂල් දූපත, මුරුසි දූපත් සහ සී-ෂෙල්ස් දූපත්ද අයත්ය.
ඉහත රටවල් ලැයිස්තුව හොඳින් කියවා බලන්න.
අද ඔබට ලියා තබන කතාවේ හැරවුම් ලක්ෂ්‍යය ඇත්තේ මෙතැනය. එනම් මෙම ලැයිස්තුවේ 06 වැනි ස්ථානයට ඇති ‘ලිච්ටෙන්ස්ටයින්’ නමැති රට කුමක්ද? ඔබ එය ගැන මින් පෙර අසා තිබේද? ඔබ අනිවාර්යයෙන්ම පවසන උත්තරය වන්නේ ‘නැත’ යන්නය. එහෙත් ඔබට මෙයට දින කිහිපයකට පෙර අපගේ රටේ මාධ්‍ය තුළින් මෙම නාමය අසන්නට ලැබිණි. එසේ වූයේ ශ්‍රී ලංකාව ප්‍රථම වතාවට ‘ලිච්ටෙන්ස්ටයින්’ රාජ්‍යය සමඟ තානාපති සබඳතා ඇතිකර ගැනීමට යෑමේ පුවතක් ගැනය. මෙය සැබෑ ලෙසම රසවත් වගතුගක් මතු කරන කතාන්දරයක් වෙයි.
ලෝකයේ අතිශය ප්‍රකට ‘බදු සුරපුරයක්’ වූ මෙම ‘ලිච්ටෙන්ස්ටයින්’ නමැති රාජ්‍යයේ වගතුග කුමක්ද?
‘ලිච්ටෙන්ස්ටයින්’ යනු යුරෝපයේ ඇති 04 වැනි කුඩාම දේශය වන අතර, ලෝකයේ 189 වැනි තැනට ඇති කුඩාම රාජ්‍යයද වෙයි. මෙය කෙතරම් කුඩා රටක්ද යත් කියතහොත්, එහි ප්‍රමාණය වර්ග සැතැපුම් 62ක් නොහොත් වර්ග කිලෝ මීටර් 160ක් වෙයි. මෙහි සමස්ත ජනගහනය වන්නේ පුද්ගලයන් 38,896ක් පමණක් වන අතර, එය ලෝකයේ රටවල් අතරින් 217 වැනි ස්ථානයෙහි ඇත. මෙහිදී ඉතා අපූරු කතාවක් ලෙස ප්‍රකාශ වන්නේ, එරට ජනගහනයට වඩා එරට විවිධ කර්මාන්ත තිබීමය. ඒ අනුව විවිධ කර්මාන්ත 40,000කට ආසන්න ප්‍රමාණයක් ඇතැයි වාර්තා වෙයි.
‘ලිච්ටෙන්ස්ටයින්’ පිහිටා ඇත්තේ යුරෝපයේ විශාල රටවල් දෙකක් වන ඔස්ටි්රයාව සහ ස්විස්ටර්ලන්තයට මැදිවය.මෙහි අගනුවර ‘වඩූස්’ ලෙසින් නම් කෙරෙන අතර, තවත් ප්‍රධාන නගර 04ක් පමණක් ඇත. මෙහි කතා කෙරෙන නිල භාෂාව වන්නේ ජර්මානු භාෂාව වන අතර, ජනතාව බහුතරය ක්‍රිස්තියානි සහ කතෝලික ආගමිකයන්ය.
දැන් ඔබට මේ රාජ්‍යය ගැන යමක් අවබෝධ වනු ඇතිය. එහෙත් මේ අතිශය කුඩා රාජ්‍යය ගැන තවත් කතා කළ යුතු වැදගත් කරුණු බොහෝය. මෙම රටේ ප්‍රධානියා සහ රාජ්‍ය නායකයා වන්නේ රජ පෙළපතකින් පැවැත එන රාජ කුමාරයෙකි. දැනට බලයේ සිටින රාජ කුමාරයාගේ නම දෙවන හැන්ස් ඇඩම් වන අතර, ඔහු 75 වැනි වියේ පසුවෙයි.
දැනට යුරෝපයේ සිටින රජ පෙළපත්වල කුමාරවරුන්ගෙන් අතිශය ධනවත් අංක එකට සිටින රාජ කුමාරයා වන්නේ හැන්ස් ඇඩම් වන අතර, ඔහුට ඩොලර් බිලියන 7.6ක මහා වත්කමක් ඇතැයි පැවසෙයි. කෙසේ හෝ මෙම රජ පෙළපතට අමතරව ‘ලිච්ටෙන්ස්ටයින්’ රාජ්‍යය පාලනයට අගමැතිවරයකු ඇතුළු ප්‍රධාන ඇමැති මණ්ඩලයක්ද සිටිති. එනම් එරට වත්මන් අගමැතිවරයා වන්නේ දැනට 56 වැනි වියෙහි පසුවන ඒඩ්‍රියන් හස්ලර් වන අතර, ඔහු දක්ෂ ආර්ථික විශේෂඥයකු බැව් පැවසෙයි. මෙම අගමැතිවරයා ප්‍රධාන ඇමැති මණ්ඩලය පත්කර ගන්නේ මහජන ඡන්දයෙන් වන අතර, ප්රජාතන්ත්රවාදී පාලන ක්‍රමයක් රට තුළ ස්ථාපිතව ඇත. එසේ වුවද රටෙහි පූර්ණ විධායක බලතල ඇත්තේ රජ කුමාරයා සතුවය. ඔහු ජනාධිපතිවරයකු ලෙසටද සමාන වනු ඇතිය.
ශ්‍රී ලංකා රජය පසුගියදා තානාපති සබඳතා ඇතිකර ගැනීමට තීරණය කරගත් මෙම අතිශය කුඩා ‘මයික්‍රෝ’ දේශය වන ‘ලිච්ටෙන්ස්ටයින්’ ගැන හෙළිවන තවත් රසවත් කරුණු බොහෝය. එනම් එය අනෙකුත් කරුණු සියල්ලටම වඩා වැදගත් වන වගතුගකි. මෙහිදී මුලින් ඔබට ලියා තැබූ පරිදි ලොව ප්‍රධානතම ‘බදු ස්වර්ග රාජ්‍යයන්’ ගේ ලෝක ලැයිස්තුවට මෙම රාජ්‍යයද ඉහළින්ම අයත් වූයේ කෙසේද? එයට ප්‍රධානතම හේතුව වූයේ එරට රජය අනුගමනය කරන දැඩි නීති, රීති නොමැති සරල මූල්‍ය ප්රතිපත්තියකි. මේ හේතුව නිසාම එරට තුළ තම මහා ධන සම්භාරයන් තැන්පත් කර තැබීම සඳහා ලොව බිලියනපති ධන කුවේරයන් එරටට ඇදී එන්නට විය. මෙම ධන කුවේරයන් සමහරක් තම ධනය යහපත් ආකාරයෙන් සොයාගත් පිරිසක් වූ අතර, සමහරුන් ධනය සොයා ගෙන තිබෙන්නේ ඉතාමත්ම කූට, වංචනික අයුරිනි. එහෙත් එම වගතුග ගැන කිසිවක් ‘ලිච්ටෙන්ස්ටයින්’ රජය විසින් සොයා බලන්නේ නැත. එරට තුළ මුදල් තැන්පත් කරන සියලුම ධනවතුන්ට එරට රජය උපරිම සහාය සහ ආරක්ෂාව සලසනු ලබයි.
මේ තත්ත්වය නිසා ලොව බිලියනපතියන් රැසක් එරට තුළ තම ධනය තැන්පත් කළ අතර, එම පිරිස අතර වූ ව්‍යාපාරිකයන් රැසක් එරට තුළ විවිධ කර්මාන්ත ආදියද ආරම්භ කරන්නට විය. එනම් තමන්ගේ රටවල් තුළ කර්මාන්ත ආරම්භ නොකළ විදෙස් ව්‍යාපාරිකයන් ‘ලිච්ටෙන්ස්ටයින්’ වෙත පැමිණ විවිධ කර්මාන්ත ශාලා ආරම්භ කළේය. එය එරට ආර්ථිකයට අති විශාල ප්‍රගතියක්ද විය. අද එරට ජනගහනයට (පුද්ගලයන් 38,896) වඩා එරට කර්මාන්ත ශාලා තිබීම එයට හේතු විය. මෙලෙස ලොව ධනපතියන්ගේ සාධාරණ සහ අසාධාරණ මුදල් කඳු පිටින් මෙම රට තුළට ගලා එන්නට වූයේ මෙයට දශක 2කට (වසර 20) පෙරදි සිටය. මෙවැනි මූල්‍යමය අක්රමිකතාවන් යටතේ ඉතාමත් කෙටි කාලයක් තුළදී එම දේශය ‘කළු මුදල්’ සංසරණය කරන තෝතැන්නක් බවට පත්විය. එසේම එවිට එම රාජ්‍යය ලොව වටා ප්‍රසිද්ධියට පත්වූයේ මුදල් විශුද්ධීකරණය සිදුකරන ප්‍රධානතම දේශයක් ලෙසටය. කෙසේ හෝ මෙලෙස එම රට තුළ වසර ගණනාවක් පුරා මෙම මුදල් අක්රමිකතාවයන් සිදුකරගෙන යන විටදී, එම රාජ්‍යය ජාත්‍යන්තර වශයෙන් හා නිල වශයෙන් අසාදු ලේඛනගත කෙරිණි.
ලොව පුරා සිදුකෙරෙන මහා පරිමාණ මුදල් විශුද්ධීකරණ ක්‍රියා ගැන ගවේෂණය කිරීමට සහ නීතිමය පියවර ගැනීමට පිහිටුවා තිබෙන ජාත්‍යන්තර නිල සංවිධානයක් වන, ‘ෆයිනෑන්ෂල් ඇක්ෂන් ටාස්ක් ෆෝස්’ නොහොත් ‘මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බළකාය’Financial Action Task Force – FATE විසින් 2000 වසරේදී මෙම ‘ලිච්ටෙන්ස්ටයින්’ රාජ්‍යය අසාදු ලේඛනගත කරන ලදි. එම වසරේදීම FATE සංවිධානය තවත් රටවල් 14ක්ද අසාදු ලේඛනගත කරන ලද අතර, තමන්ගේ ප්‍රබල ජාත්‍යන්තර නීතිමය ක්‍රමවේදයන් එම රටවල්වලට එරෙහිව එල්ල කෙරිණි. ඒ අනුව කලක් ගතවීගෙන යන විටදී ‘ලිච්ටෙන්ස්ටයින්’ රාජ්‍ය තුළ මුදල් විශුද්ධීකරණයට තිබෙන නිදහස් ඉඩකඩ සඳහා විවිධ නීති, රීති පැනවිණි. මෙහිදී FATE සංවිධානය එම අසාදු ලේඛනගත රටවල් 15ටම දැඩි ලෙස අවධාරණය කර සිටියේ, මුදල් විශුද්ධිකරණයට එරෙහිව ජාත්‍යන්තර ප්රමිතීන් වහාම ක්‍රියාත්මක කළ යුතු බැව්ය. කෙසේ හෝ යම් කඩඉමක් දක්වා එම රටවල් කටයුතු කළත්, තවද ‘ලිච්ටෙන්ස්ටයින්’ ඇතුළු රටවල් රැසකම තම මූල්‍යමය නීති, රීති සහ රහස්‍යභාවයන් බොහෝ ලිහිල් බවට තොරතුරු ලැබෙයි.
‘ලිච්ටෙන්ස්ටයින්’ නමැති මෙම හුරුබුහුටි කුඩා ධනවත් දේශය ගැන ඔබ දැන් කරුණු අවබෝධ කරගත්තේ යැයි සිතමි. වර්ග කිලෝමීටර් 160ක් තරම් කුඩා සහ ජනගහනය 38,896ක් පමණක් වෙසෙන මෙම ‘මයික්‍රෝ’ රාජ්‍යය සමඟ ශ්‍රී ලංකාව පසුගියදා තානාපති සබඳතා ආරම්භ කිරීම ගැන උද්ගතව ඇත්තේ කිනම් තත්ත්වයක්ද? මේතාක් දක්වා ලෝකයේ විශාලතම සහ ධනවත්ම රටවල් රැසක් සමඟ කිසිදු තානාපති සබඳතාවක් නොපවත්වා ඇති ශ්‍රී ලංකාව, මෙම ‘ලිච්ටෙන්ස්ටයින්’ රාජ්‍යය සමඟ තානාපති සබඳතා ආරම්භ කිරීම ගැන මේ වන විට යම් පාර්ශ්ව විසින් විවිධ මතිමතාන්තර පළකර ඇත. එම මතිමතාන්තරවල යම් සැකයට තුඩුදෙන කරුණුද අන්තර්ගත බැව් පෙනෙන්නටද ඇත. එයට ප්‍රධාන ලෙසම හේතු වී ඇත්තේ, ‘ලිච්ටෙන්ස්ටයින්’ රාජ්‍යය කාලයක් පුරා මුදල් විශුද්ධීකරණයට ප්‍රබල චෝදනා නැඟුණු රටක් හෙයිනි. මේ වන විට තවද ඉන්දියාවට සහ කැනඩාවටද තානාපතිවරුන් පත්නොකර ඇති අවස්ථාවක, මෙවැනි කුඩා දේශයක් සඳහා අධික ධනයක් වැය කරමින් තානාපති සබඳතා ඇතිකර ගැනීමට ශ්‍රී ලංකා රජය කටයුතු කිරීම දැඩි ආන්දෝලනයකට පත්ව ඇත. මෙය පනින රිළවුන්ට ඉණිමන් බැඳීමක්ද?
ප්‍රියන්ත හෙට්ටිගේ.