මීට වසර 25කට එහා රාගම ප්‍රදේශයේ ජීවත් වූ අයකු සිටී නම් රාගම දුම්රියපොළ ඉදිරිපිට තිබූ ප්‍රසිද්ධ ඩිස්පෙන්සරිය අමතක වන්නේ නැත. කුඩා ලෑලි කාමර කෑල්ලක පවත්වාගෙන ගිය මෙම ඩිස්පෙන්සරිය හැඳින්වූයේ දොස්තර සරණතිලක ඩිස්පෙන්සරිය ලෙසය. එම ඩිස්පෙන්සරියෙන් එවකට රාගම ජීවත් වූ අයකු නම් බෙහෙත් නොගෙන සිටින්නට විදිහක් නැත. එයට හේතු වූයේ “අඩු මුදලට වැඩි ඉක්මනින් ලෙඩ සුව වන එකම තැන සරණතිලක වෙද මහතාගේ තැන” යැයි එවකට කටකතාවක් පැතිර තිබූ නිසාය. ලියුම්කරු ද එකී ඩිස්පෙන්සරියේ කාලයක් ප්‍රතිකාර ලබාගත් අයෙකි.
සරණතිලක දොස්තර මහත්තයා හෙවත් සරණතිලක දන්තනාරායන වෛද්‍යවරයාට එවකට වැඩියෙන්ම රැගෙන ආවේ පොඩි දරුවන් බවද කිව යුතුමය. කුඩා වැඩිහිටි කාගෙත් එදා දන්නා හඳුනන රාගම එකම දොස්තර සරණතිලක දොස්තර මහතා බව ඉතිහාසය ගැන දන්නෝ දනිති.
එහෙත් නගරය දියුණු වීමෙන් දොස්තර මහතා ඩිස්පෙන්සරිය තම නිවෙසට රැගෙන ගිය අතර ඊට පසුව රාගම නගරයේ ඩිස්පෙන්සරි ඉහේ කෙස් ගාණට ආරම්භ වීමත් සමඟ සරණතිලක දොස්තර මහතා තවත් එක් වෛද්‍යවරයෙක් පමණක් විය.
මේ අතර පසුගිය සතියේ සමාජ මාධ්‍ය පුරා එක තරුණ වෛද්‍යවරයකු සම්බන්ධයෙන් පෝස්ට් කිහිපයක් එහා මෙහා වන්නට විය. ඒ ඔහුට කොවිඩ් වැළඳී ඇති ඔහුට ඉක්මන් සුවය පතාය. දරුවන් වඩාගනිමින් සිටින ඡායාරූප පමණක් නොව රිදම් ගිටාරයක් අත දරාගෙන සිටින ඡායාරූප කිහිපයක් ද ඒ අතර විය. සැබවින්ම ඔහුගේ භූමිකාව පැහැදිලි බවක් එකවර දුටු අයකුට හඳුනාගැනීමට හැකිවන්නේ නැත. මේ තරුණ වෛද්‍යවරයා ගයාන් දන්තනාරායන නම් විය.
දින කිහිපයක් ගත විය. එක්වරම ෆේස්බුක් සමාජ ජාලය තුළ එහේ මෙහේ වන්නට වුණු ප්‍රවෘත්තියක් දැකීමෙන්ම බොහෝ අය කැළඹුණහ. එනම් මේ ඉතා තරුණ කඩවසම් වෛද්‍යවරයාගේ තත්ත්වය බරපතළ වී කොළඹ අයි.ඩී.එච් උණ රෝහලේ සිට කරාපිටිය රෝහල දක්වා රැගෙන ගිය බවය. එය දුටු සැණින් දුටුවන්ගේ හදවත කම්පා වුණු අතර ඔවුහු හදවතින් ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළහ.
දින දෙකක් තුනක් යන විට ෆේස්බුක් සමාජ මාධ්‍ය තුළ වෛද්‍යවරයාගේ තත්ත්වය බරපතළ බවත් ඔහු වෙනුවෙන් සුවය ප්‍රාර්ථනා කරන ලෙසත් ඔහුගේ මිතුරෝ, ළබැඳි පිරිස් විශාල වශයෙන් පණිවිඩ හුවමාරු කළහ. එපමණක් නොව එම පණිවිඩ අතර ඇතැම් වෛද්‍යවරුන් ඔහුව හඳුන්වා තිබුණේ දරුවන්ගේ දෙවියකු ලෙසය, තවත් අය හඳුන්වා තිබුණේ හිත හොඳ දොස්තර ලෙසය. එලෙස වැටුණු සෑම පණිවිඩයක් තුළම තිබුණේ ගයාන් දන්තනාරායන වෛද්‍යවරයාගේ ගුණය, හොඳය. මෙතරම් ඔහුට හොඳ කියන්නේ ඇයි? ඔහු කවුද? යන්න ලියුම්කරු නිකමට සොයා බැලුවේය. එහිදී අපූරු ලියමනක් මගේ නෙත ගැටුණි. එය ඔබට කියවීම සඳහා මෙසේ පළ කරමි.
“වෛද්‍ය ගයාන් දන්තනාරායන covid-19 ආසාදනය වෙලා ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් මුල්ලේරියාව දැඩි සත්කාර ඒකකයේ මේ වෙනකොට ප්‍රතිකාර ලබමින් ඉන්නවා. ගයාන් වගේ මිනිස්සු මේ වෙලාවේ ජීවත් වෙන්න ඕනෙ. ඒ වගේ නැති මිනිස්සුන්ගෙන් මේ ලෝකෙ පිරිලා ඉතිරිලා නිසා.
මේ කතාව, මගේ පළවැනි පත්වීම අරගෙන දෙහිඅත්තකණ්ඩිය ළමා රෝග ඒකකයේ වැඩ කරපු කාලෙ. යුද්දෙ අවසන් වෙලා අම්පාරට පොළොන්නරුවට සංවර්ධනයේ අලුත් බලාපොරොත්තු එන කාලෙ.
දෙහිඅත්තකණ්ඩියට ළඟම නොමේරූ ළදරු දැඩි සත්කාර ඒකකය පොළොන්නරුව මහ රෝහල, ඒ කාලේ හැමදාම ඒක පිරිලා. ඉතින් අලුත ඉපදුණු අසාධ්‍ය නොමේරූ ළදරුවො අරගෙන අපිට යන්න වෙන්නෙ අම්පාරට.
දෙහිඅත්තකණ්ඩියෙ ඉඳන් ඒ කාලෙ අම්පාරට යන ගමන අවම පැය 3ක්. කිලෝමීටර් 125ක දුරෙන් වැඩි කොටසක පාරෙ ඇම්බියුලන්ස් එකේ යට බිම වදින සයිස් වළවල්.
ඒ කාලෙ තිබුණු ඇම්බියුලන්ස් කියන්නෙ නිකම් ඇඳක් හයි කරපු, පිටිපස්සෙ දුනු තියෙන හයිඒස් වෑන්. මාදුරු ඔය රක්ෂිතය මැදින්, අරලගංවිලෙන් යන පාරෙ තියෙන වළවල්වල වැටෙනකොට භූමිකම්පාවක් වගේ ගැස්සෙන්නෙ. ගමන මැද ගැස්සෙනකොට අර දරුවාට කෘත්‍රිම ශ්වසනය දෙන්න දාපු ET tube එක (ඔක්සිජන් දෙන්න පෙනහලුවලට දාන නළය) ගැලවිලා. ඉතින් ඇම්බියුලන්ස් එක නවත්තලා ටෝච් එකක් ගහගෙන ආයෙ ඒක දාන්න ඕනෙ.
දරුවාගේ විජලනය වළක්වන්න ඇම්බියුලන්ස් එකේ ජනෙල් ඔක්කොම වහන්න ඕනෙ, උෂ්ණත්වය රැකගන්න ඕනෙ නිසා AC එක දාන්නෙ නෑ. මේ වෙනකොට ඇම්බියුලන්ස් එක ඇතුළ පෝරණුවක් වගේ. කොහොමත් ගමනෙ මේ වෙලාව වෙනකොට නර්ස් මිසී, සුළු සේවිකාව එහෙම බොහෝ විට වමනෙ දාන්න පටන් අරන්.
අපි ඔය දුෂ්කර ගමන ගෙවාගෙන යනකොට අම්පාරෙ ළදරු දැඩි සත්කාර ඒකකයෙ බොහෝ විට ඉන්නෙ ගයාන්. සෞඛ්‍ය ක්ෂේත්රයේ මේ වගේ කේස් එකක් ඇම්බියුලන්ස් එකක දාලා අරන් එන එකට කියන්නෙ “බකට් එකක්” කියලා. බකට් එකක් අරන් යන අපිව ඕන තැනකින් බාරගන්නෙ කැමැත්තෙන් නෙවෙයි.
ඒ අතින්, අම්පාරෙදි ළමයා බාරගෙන කෘත්‍රිම ශ්වසන යන්ත්‍රවලට සෙට් කරපු ගමන් ගයාන් අහන්නෙ, “අයියෙ – කාලද ආවෙ?” කියලා. බොහෝ විට රෝහලේ කැන්ටින් එකට ගිහින් තේ එකක්, කන්න දෙයක් අරන් දීලා ළමයා අමාරුවෙන් එක්කගෙන ආවට තෑන්ක්ස් කියලා තමයි ආයෙ අපිව එවන්නෙ. ඒ වගේ පුරුද්දක් කිසිම කෙනෙක් කරනවා මගේ ජීවිත කාලෙදි දැකලා නෑ.
ගයාන්ලගෙ PBU එකෙන් බාරගත්තු දරුවො, සති කිහිපයකින් සුව කරලා ආයෙ එවනවා. එහෙම බාගෙට මැරිලා ගිහින් සනීපවෙලා ආපු සමහර දරුවො අදටත් උපන්දිනේට මාව බලන්නත් එනවා. ඒ ගොඩක් දරැවො දැන් පෙර පාසල්, පාසල් යන නිරෝගී ළමයි.
මේක ලියන විටත් GMOA එකෙන් ගයාන්ව, ECMO ප්‍රතිකාරවලට කරාපිටියෙ ගෙනියන්න උත්සාහ කරන ගමන්.
ඒ අතීතයේ සියල්ල මැවිලා පෙනෙන මේ වෙලාවෙ, මට කියන්න ඉතුරුවෙලා තියෙන්නෙ “මචං, කොහොම හරි ඉක්මනට සනීප වෙලා වරෙන්” කියලා විතරයි.
ගයාන්, උඹට ඉක්මන් සුව! Don’t stop fighting.”
මෙය සටහන් කර තිබුණේ චනිත් පේදුරුආරච්චි නම් වෛද්‍යවරයෙකි. එය කියවූ පසු මා හට ඇති වූ හැඟීම හා සමාන හැඟීමක් ඔබට දැනෙන්නට ඇතැයි සිතමි. එනම් ඔහු සැබවින්ම වෛද්‍ය වෘත්තිකයන් අතර හිත හොඳ දොස්තර කෙනෙකු යැයි අවිවාදයකින් පිළිගත හැකි බවය. මෙවැනි වෛද්‍යවරයකු තවත් ජීවත් විය යුතු නේදැයි මෙය කියවන වාරයක් පාසා මට දැනෙන්නට විය. මේ කුතුහලය නිසාම මම තව තවත් ඔහු ගැන සොයන්නට වීමි.
එහිදී දැනගන්නට ලැබුණේ මොහු රාගම ළමා වාට්ටුවේ සේවය කළ වෛද්‍යවරයෙක් වන බවය. එහිදී ඔහුට කොවිඩ් වෛරසය වැළඳී ඇති අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අයි.ඩී.එච් රෝහලට ඇතුළත් කර ඇති බවය. කෙසේ වෙතත් අයි.ඩී.එච් රෝහලේදී ඔහුගේ තත්ත්වය බරපතළ වු නිසාම ඔහුව වැඩිදුර ප්‍රතිකාර සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම මත කරාපිටිය රෝහලට මාරු කර යැවීමට තීරණය කර තිබුණි. කොළඹ සිට කරාපිටියේ යන්නේ ඇයිද යන්න ඕනෑම කෙනකුට බැලූ බැල්මට පෙනෙන දෙයකි. එය මා හට ද ඇතිවූ ප්‍රශ්නයක් නිසා එයට හේතුව කුමක්ද යන්න මම එහිදී සොයා බැලුවෙමි.
එහිදී අනාවරණය වුණේ ඔහුගේ ශ්වසන අපහසුතාවය ඉහළ ගිය නිසා මෙලෙස කරාපිටියට යැවූ බවය. එයට හේතුව නම් හෘදය සහ පෙනහලු අකර්මණ්‍ය වීම වළක්වා ගැනීම සඳහා කෘත්‍රිම ශ්වසනය ලබාදෙන ECMO නැමති යන්ත්‍රය ඇත්තේ මෙරටින්ම කරාපිටිය රෝහලේ පමණක් වන බැවිනි. එම යන්ත්‍රය හරහා අක්‍රීය වන හෘදයටත්, පෙනහලුවලටත් උත්තේජනයක් ලබාදීමට හැකියාව ඇත. විශේෂයෙන් නියුමෝනියා තත්ත්වයකදී රුධිරයට ඔක්සින් එකතු වී කාබන්ඩයොක්සයිඩ් පිටවිමේ ගැටලුවක් ඇතිවන නිසා එය සමනය කිරීම මේ යන්ත්‍රය හරහා සිදු කරනු ලබයි. එවැනි වටිනා යන්ත්‍රයක් ඇත්තේ කරාපිටියේ පමණි.
ඇත්තෙන්ම එම පුවත දුටු පසු ඊටත් වඩා කම්පාවක් ඇතිවුණේ නිදහස් සෞඛ්‍ය සේවයක් ඇති රටක මෙවැනි වටිනා යන්ත්‍රයක් එක රෝහලක පමණක් තිබීම ගැනය. විශාල බදු මුදල් ගෙවන ජනතාවක් වෙනුවෙන්, කෝටි දෙකහමාරක මිනිසුන් වෙනුවෙන් ඇති එකම යන්ත්‍රය මේ යන්ත්‍රය පමණක් නම් අප පාරම්බාන නිදහස් සෞඛ්‍ය සේවය කොතැනද? ඒ ගැන දැනෙන්නේ සැබවින්ම දුකකි. කොන්ක්‍රීට් වනාන්තර දවසින් දවස ඉදිවෙන මොහොතක හුස්ම ගැනීම සඳහා අවශ්‍ය වටිනාම යන්ත්‍ර එකක් පමණක් ඇති නම් අප තව තවත් ජයග්‍රහණ ලෙස සමරන්නේ මායවන් නේදැයි හිතට දැනිණි. එනිසා ඒ සම්බන්ධයෙන් වෙනම කතා කළ යුතුය.
කෙසේ වෙතත් වෛද්‍යවරයාව එම ශ්වසන ආධාරකයට සම්බන්ධ කිරීම සඳහා අයි.ඩී.එච් රෝහලෙන් රැගෙන යන්නේ පසුගිය 27 වැනිදාය. එතැන් පටන් ගයාන් ජිවිතයත් මරණයත් අතර සටනක නිරතවන්නට විය. ඒ නිසාම ඔහු හඳුනන නොහඳුනන බොහෝ දෙනා ඔහු වෙනුවෙන් සුවය පතා ආශිර්වාද පූජා පැවැත්වූහ.
මේ අතර ගයාන් සම්බන්ධයෙන් සොයා බැලීමේදී ඔහු නුගේගොඩ ජාත්‍යන්තර පාසලකින් අධ්‍යාපනය ලබා වැඩිදුර අධ්‍යාපනය පතා චීනය බලා පිටත් වූ වෛද්‍යවරයෙක් බවද දැනගැනීමට ලැබිණි. ඒ ටියැන්ජින් විශ්වවිද්‍යාලය වෙතය. 2005 වසරේදීය. යාළුවන් සමඟ ඉතාම සුහදව කාලය ගත කරන ගයාන් නිදහස් වෙලාවක් ලැබුණු සැණින් ගිටාරය වාදනය කර සින්දු කීම සිරිත කරගෙන තිබුණි. ඔහුගේ මිත්‍රයන්ගේ සටහන්වලට අනුව කියැවෙන්නේ ඔහුගේ සින්දු ඇසීම සඳහා එකල විශ්වවිද්‍යාලයේ පිරිස් කැමැත්තෙන් සිටි බවය. එසේ වෛද්‍ය උපාධිය නිමකර පැමිණෙන ගයාන් 2010 වසරේදී මෙරට සුදුසුකම් විභාගයෙන් සමත්ව වෛද්‍යවරයෙක් ලෙස සේවයට එක් විය. හලාවත, අම්පාර වැනි රෝහල්වල සේවය කරන සමය තුළ ඔහු දරුවන් රැසකගේ ජීවිතය බේරාගත් වෛද්‍යවරයකු ලෙස ප්‍රසිද්ධය. විශේෂයෙන් ඔහුගේ පියා, බිරිඳ පවා වෛද්‍යවරු වෙති.
වෛද්‍ය වෘත්තියට අමතරව ඔහු සංගීත කණ්ඩායමක ගිටාර් වාදකයෙක් ලෙසද කටයුතු කළේය. ඔහුට නිදහසක් ලැබුණු සැණින් සිදු කළේ සංගීතයේ යෙදීමය. එහෙත් ඔහු එය තමන්ගේ රාජකාරියට බාධාවක් කර ගත්තේ නැත. ඔහු අමතර දේවල් සියල්ල සිදු කළේ සිය රාජකාරිය දේවකාරිය කරගත් පසුවය. එනිසා ගයාන්ට දරුවන් තමන්ගේ ලෝකය විය. විශේෂය නම් ගයාන් මත්පැන් දුම්වැටි විරෝධී අයකු වීමය.
එක්තරා සහෘද සටහනක තිබුණේ මිය යන්නට ගිය තම දරුවා ජීවත් වන්නේ ගයාන් නිසා බවත් අද එම දරුවා ලොකු මහත් වී ඇති බවත්ය. එසේම තවත් වෛද්‍යවරයකු සටහන් කර සිටියේ ගයාන් දරුවන්ට තෑගිබෝග, කෑම ජාති පවා රැගෙනවිත් දෙන බවය. එවන් දෙවියකු වැනි වෛද්‍යවරයකු වෙනුවෙන් මෙලෙස ගුණ ගැයීම, ආශිර්වාද ලබාදීම ගැන පුදුම විය යුතු නැතැයි සියල්ල සොයාගත් පසු මා හට සිතුණි. එනිසා ඔහු සුව වී ඉක්මනින් දරුවන් අතරට එතැයි යන බලාපොරොත්තුව මා තුළ විය.
එහෙත් පුදුමයකි. එකවර ගයාන් සම්බන්ධයෙන් ආශිර්වාද පැතු සියල්ලන්ගේ මුහුණුපොත්වල සුදු කොඩි ප්‍රදර්ශනය විය. ඉතා කඩවසම් මේ තරුණ වෛද්‍යවරයාගේ රූපය සමඟ ඔවුහු නිවන් සුව පතන්නට වූහ. බොහෝ දෙනා දුක ප්‍රකාශ කළේ පෞද්ගලික දැනගැනීමට වඩා ඔහු ගැන නොදැනය. ඒ ගයාන් අසාධ්‍යව සිටි කාලයේ මිතුරන් විසින් ලියූ ගුණ අසාය. එනිසා මිත්‍රයන්ට වඩා ජීවිතේ එක් වතාවක් හෝ දැක නොතිබූ පිරිස් ගයාන්ට නිවන් සුව පැතුවේ දරාගත නොහැකි ශෝකයෙනි. ඒ අනුව මෙරට කොවිඩ් වෛරසය සෑදී මියගිය පළමු වෛද්‍යවරයා ගයාන් දන්තනාරායන ලෙස ඉතිහාසගත විය.
එහෙත් ඒ වන විට බිරිඳත් මවත් කොවිඩ් රෝගය වැළඳ සිට සුව වී නිරෝධායනය වෙමින් සිටියහ. ඒ වන විටත් ගයාන්ගේ දේහය නිරෝධායන රෙගුලාසි අනුව අවසන් කටයුතු කිරීමට තීරණය කර තිබුණි. නමුත් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ අතර එය සිදු කළේ රුහුණු විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අධිකරණ වෛද්‍ය සමාධි දන්දෙණියආරච්චි මහත්මියයි. ඇය සඳහන් කළේ කොවිඩ් නිසා ඇතිවූ නිව්මෝනියාව, දීර්ඝකාලීන දියවැඩියාව සහ අධිරුධිර පීඩනය හේතුවෙන් මොහු මියගොස් ඇති බවය. ඒ අනුව වෛද්‍යවරයාගේ අවසන් කටයුතු එදිනම දහවල් ගාල්ල දඩල්ල සුසාන භූමියේ සිදු කිරීමට තීරණය කෙරුණි.
ගයාන්ගේ මරණයත් සමඟ මා මේ කතාව ආරම්භයේදී සඳහන් කළ පරිදි ඔහුගේ මිතුරන් විසින් පළ කළ පෝස්ටු හරහා දැනගන්නට හැකිවූයේ ඔහු මීට අවුරුදු 25කට පෙර රාගම ජනප්‍රිය වෛද්‍යවරයා වූ සරණතිලක දන්තනාරායනගේ දෙවැනි පුතා බවය. කනගාටුව නම් ගයාන්ගේ වැඩිමහල් සොහොයුරා මීට වසර පහළොවකට පෙර දුම්රිය අනතුරකින් මිය ගොස් තිබීමය. ඒ ගයාන් පාසල් යන සමයේදීය. එහෙත් ඒ සියල්ල මකා දැමීමට සිටියේ ගයාන් පමණි. ගයාන්ට පසු සහෝදරියක් සහ සහෝදරයෙක් සිටිති. එහෙත් නැවතත් සියල්ලෝම රිදවමින් ගයාන් ද නික්ම ගියේය. එය ගයාන්ගේ පවුලට දරාගත නොහැකි වේදනාවක් බව අමුතුවෙන් කිව යුතු නැත. එසේම අපි ගයාන්ගේ පවුලේ අයට හදවතින්ම කනගාටුව ප්‍රකාශ කරමු.
ගයාන් වැනි හිත හොඳ දොස්තරලා සමාජයෙන් නික්ම යාම ගැන ඇත්තේ දුකකි, වේදනාවකි. එවැනි දෙවිවරුන් හා සම වෛද්‍යවරුන් ඉතාම සීමිත සංඛ්‍යාවක් සිටින රටක ඔවුන් ද මෙලෙස අප හැරයාම කෙතරම් අඩුපාඩුවක්ද? නික්ම ගිය ගයාන් රටට විශාල අඩුවක් රටට ෙපන්වා ගිෙය්ය. ඒ තවත් බොහෝ පිරිසකගේ ජීවිත බේරාගැනීමට අවශ්‍ය අඩුවක් ගැන හෙළි වී තිබේ. ඒ කරාපිටියට පමණක් රටේ එකම ECMO යන්ත්‍රය හිමි වී තිබීම ගැනය. එසේ නම් දැන් ගයාන්ගේ මරණයේ නාමයෙන් හෝ මේ විශාල අඩුව පිරවිය යුතුය. සෞඛ්‍ය අංශ ඇස් ඇරිය යුතුය. ජනතාව ඒ වෙනුවෙන් හඬ නැගිය යුතුය. එතෙක් සියල්ල හැරදා ගිය හිත හොඳ දොස්තර මහතාට සුබ රාත්‍රියක් පතමි!
ගයාන් ගාල්ලගේ