යහපත් තරුණ වෛද්‍යවරයකුගේ මරණය සමග කම්පිතව ඉන්න ඔබට මේ තොරතුරු ටික ලියන්නට සිතුනා. මේ වනවිට ශ්‍රී ලංකාවට Oxford–AstraZeneca COVID-19 එන්නත ලැබී ඇති අතර එන්නත ලබා දීම ආරම්භ වී තිබෙනවා.ඇමෙරිකාවේ වෙසෙන අපිට නොබෝ දිනකින් Pfizer-BioNtech එන්නත ලැබුනත් ලංකාවේ අපේ පවුල්වල සාමාජිකයන් සහ මිතුරන් ගැන සිතා දුක් වූ අපිට එය මහත් අස්වැසිල්ලක්. කොවිඩ් එන්නත යනු කුමක්ද සහ එය නිර්මාණය කල ආකාරය පිළිබඳව බොහෝ ලිපි පල වී තිබූ නිසා මා නැවත එය විස්තර කරන්නේ නෑ. නමුත් ශ්‍රී ලාංකීක ජනතාව මෙය පිලිගන්නා ආකාරය හා මේ මොහොතේ හැසිරෙන ආකාරය ගැන යමක් කිව යුතු බව සිතුවා.
Recombinant technology භාවිතා කරමින් එන්නතක් කෘතිමව නිශ්පාදනය කිරීම යනු එක රැයකින් සිදු වන්නක් නොවේ. ඒ වෙනුවෙන් බොහෝ පිරිසක් දිවා රෑ නොබලා වෙහෙස විය. යුතුයි. මෙය ලියන මාද මගේ ආචාර්ය උපාධිය වෙනුවෙන් කරන්නේ මේ හා සමාන පර්යේෂණයක්. පිලිකා, දියවැඩියාව, නිදන්ගත වකුගඩු රෝග ඇතුළු අපේ ශරීරයේ රෝග ගනනාවකට හේතු වන එක්තරා ප්රශ්නකාරී ප්‍රෝටීනයක ක්‍රියාකරීත්වය අඩපණ කල හැකි විශේෂිත ප්‍රෝටිනයක් Recombinant DNA තාක්ශනය මගින් එන්නතක් ආකාරයට නිපදවීම තමයි මගේ පර්යේෂණය. මෙය කොවිඩ් එන්නත නිපදවූ ක්‍රමවේදයට තමයි සිදු කරන්නේ. වචනයේ පරිසමාප්තියෙන්ම එය අතිශය සංකීර්ණ ක්‍රියාවලියක්.
ඕනෑම එන්නතක් නිපදවීමේදී පර්යේෂණාගාර තාක්ශනික ක්‍රම යොදාගන්නවා. ඉන් පසු මීයන්, හාවුන් චිම්පන්සි වැනි සතුන් යොදා ගනිමින් ඒවායේ ක්‍රියාකාරිත්වය තහවුරු කර ගන්නවා. අවසානයේ මිනිසුන් යොදා ගනිමින් අදාළ සායනික පරීක්ෂාවන් සිදු කරනවා. මෙම සියලුම පියවර 100% ක් නිවැරදිව විය යුතුයි. මේ ආකාරයට සම්පූර්ණයෙන්ම නිරවුල්ව ක්‍රියාකාරිත්වය තහවුරු කර ගත් නිශ්පාදනයක් තමයි අවසානයේ එන්නතක් ලෙස ඔබ අතට පත් වන්නේ.
ඇතැමුන් පවසන ආකාරයට එන්නත ලබා ගැනීමෙන් පසු රෝගය වැලදෙන බව සම්පූර්ණ වැරදියි. එන්නත සම්බන්ධ ක්‍රියාවලිය සරලවම කිව්වොත්, කොවිඩ් වයිරසයේ එක් විශේෂිත ප්‍රෝටීනයකට අදාළ ජානමය තොරතුරු චිම්පන්සි ඇඩිනෝවෛරස් වාහකයෙක් යොදාගනිමින් එන්නතක් ආකාරයට නිපදවා අපගේ ශරීරයට එන්නත් කරනවා. ඉන් පසු අපේ ශරීරය තුල කොවිඩ් වෛරසයට අදාළ විශේෂිත ප්‍රෝටීනය පමණක් නිපදවෙනවා. මෙය සජීවී වයිරසය අපේ ශරීරය තුළ නිර්මාණය වීමක් ලෙස කිසිසේත් වරදවා වටහා නොගත යුතුයි. අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය එම ප්‍රෝටීනය හදුනාගෙන එයට අනුකූලව ප්‍රතිදේහ නිපදවනවා. එය ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක්. මෙම ප්‍රතිදේහ මගින් රෝගය නොවැළදීම පිණිස අවශ්‍ය දිගුකාලීන ප්‍රතිශක්තිය ලබා දෙනවා. එන්නත ලබා ගත් පසු අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දක්වන යම් ප්‍රතික්‍රියා නිසා ඇතැම් අපහසුතා හෝ සංකූලතා දැනුනත් ඒවා ඉතාම ස්වාභාවිකයි මෙන්ම හානිදායක නැහැ.
Oxford විශ්වවිද්‍යාලයීය පර්යේශකයින් විසින් Recombinant technology යොදාගනිමින් නිපදවා 62% – 90% ක් සාර්ථක බව තහවුරු කරන ලද, ඔබේ දරුවාට ලබා දෙන එන්නත් වලින් වැඩි ප්‍රමාණයක් නිපදවන ඉන්දියාවේ Serum Institute මගින් වානිජ වශයෙන් නිශ්පාදනය කරන ලද සහ සියලු පර්යේෂණාගාර පරීක්ෂා හා සායනික පරීක්ශා මගින් නිරවද්‍යතාව තහවුරු වූ එන්නතක් පිළිගැනීමට බිය වෙන ජනතාවක් මිත්‍යා දෘශ්ටික බලවේගයක් සිහිනෙන් පැවසුවා යැයි කියවෙන පැණියක් ලබා ගැනීමට කිසිදු බියක් නොදැක්වීම අපේ විද්‍යා අද්යාපනයේ පවතින ප්‍රායෝගික නොවන බව මනාවට පෙන්වනවා. බටහිර විද්‍යාවේ බොහෝ වැරදි ඇති. දේශීය වෛද්‍ය ක්‍රම වල බොහෝ හාස්කම් ද ඇති. ඒවා ගැන වාද කිරීම පසෙක තබා දැනට සාර්ථක එකම විසදුම වන එන්නත ලබා ගැනීම හැර වෙනත් විකල්පයක් නැති බව ද කොවිඩ් වෛරසය යනු ඔබ අප සිතනවාට වඩා දරුණු බවද තේරුම් ගත යුතුයි.
නොබෝදා පලවූ අලුත්ම පර්යේෂණ වාර්තාවක දැක්වෙන්නේ කොවිඩ් වෛරසයේ N capsid ප්‍රෝටීනය මගින් අපේ සෛල වල TGF-beta පද්ධතිය විකෘති කර දරුණු fibrosis හා inflammation තත්ව ඇති කරන බවයි. මෙමගින් පෙණහලු පටක මෙන්ම හෘදය හා වකුගඩු පටක වලට දැඩි හානි ගෙන දෙනවා. රෝගය සුව වුනත් අභ්‍යන්තර ඉන්ද්රිය වලට බොහෝ හානි සිදු වන බව ඇමෙරිකාවේ Massachusetts රෝහල මගින් එලි දැක්වූ එම පර්යේශණ වාර්තාවේ සදහන්.
එතරම් දරුණු වෛරසයකින් ආරක්ෂා වීමට ඔබට හැකි සියලු සොඛ්‍ය පුරුදු පිලිපදින අතරම මිත්‍යා මතවාද වලින් බැහැර වී එන්නත විශ්වාසයෙන් යුතුව ලබා ගන්නා ලෙස ඉල්ලා සිටිනවා. එමෙන්ම වගකිවයුතු අංශ විසින් ශ්‍රී ලංකාව තුල එන්නත්කරණ ක්‍රියාවලිය වේගවත් කිරීමද මේ මොහොතේ සිදු විය යුතුම බව අවසාන වශයෙන් ලියා තබනවා.
සමුද්‍රා ගුණරත්න,
අණුක ජෛව විද්‍යා සහ ජෛව ඉන්ජිනේරු දෙපාර්තමේන්තුව,
හවායි විශ්වවිද්‍යාලය,
ඇමෙරිකා එක්සත් ජනපදය.
(සමුද්‍රා ගුණරත්න සමාජ ජාල පිටුවෙන්)