කොවිඩ් එන්නත ලබාගත් ලෝක නායකයන් අතරට අලුතෙන්ම එක් වූ පුද්ගලයා වන්නේ සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු වන මොහොමඩ් බින් සල්මාන් කුමරුයි. සෞදි අරාබිය තුළ එන්නත් වැඩසටහන මීට දින කිහිපයකට පෙර ආරම්භ වූ අතර එන්නත ලබාගත් පළමු පුද්ගලයන් අතර එරට සෞඛ්‍ය ඇමැති තවුෆික් අල්-රාබියාද වූයේය. කොවිඩ් එන්නත මෙයට පෙර භාවිතයේ නොතිබූ එන්නතක් නිසා බොහෝ දෙනා එය ලබා ගැනීම සම්බන්ධයෙන් සැක සිතින් පසුවන බව අනාවරණය වේ. ලෝක නායකයන් ප්‍රසිද්ධියේ එන්නත ලබා ගැනීමට ඉදිරිපත් වන්නේ එම සැක සංකා දුරු කිරීම සඳහාය. කෙසේ වෙතත් මේ වෙද්දී සෞදි අරාබියේ ලක්ෂ 5 කට ආසන්න සංඛ්‍යාවක් එන්නත ලබා ගැනීම සඳහා ලියාපදිංචි වී සිටින බව මාධ්‍ය සඳහන් කර තිබිණි. සෞදි අරාබිය කොවිඩ් එන්නත් වැඩසටහන් දියත් කළ පළමු රටවල් අතරින් එකකි. එරටින් මේ වනවිට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් ගණන 360,000 ඉක්මවා තිබේ. ඒ අතර 6,100 කට ආසන්න සංඛ්‍යාවක් මරණයට පත්ව ඇත.
මෙයට පෙර තවත් ලෝක නායකයෝ කිහිප දෙනෙක්ම මේ ආකාරයෙන් එන්නත ලබා ගත් හ. ඇමරිකාවේ ජනාධිපති පදවියට පත් වීමට සිටින ජෝ බයිඩ්න්, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, ඇමරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් ආදීන්ද ඒ අතර විය. බ්‍රිතාන්‍යයේ මහ රැජින සහ පිලිප් කුමරු, ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරුන් වන බැරක් ඔබාමා, බිල් ක්ලින්ටන්, ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්, එරට උප ජනාධිපති ධුරයට පත් වීමට සිටින කමලා හැරිස් වැනි අයද ඉදිරියේදී එන්නත ලබා ගැනීමට ඉඩ ඇති බවට තොරතුරු පළ වී තිබිණි.
සහන් වික්‍රමගේ