අද (01) සහ හෙට (02) යන දින දෙක සඳහා පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට අනුමැතිය ලබාදී තිබේ.
ඒ අනුව, A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කලාප සඳහා දිවා කාලයේ පැය 1ක් සහ රාත්‍රී කාලයේ දී පැය 1යි විනාඩි 20ක් ලෙස විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතය.
කෙසේවෙතත් මීට පෙර මහජන උපයෝගීතා කොමිසම සඳහන් කර සිටියේ අද දිනයේ විදුලි කප්පාදුව සඳහා අවසර ලබාදී නොමැති බවය.
එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ, ඊයේ (30) දිනය දක්වා පමණක් මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට විදුලි කප්පාදුව සඳහා අවසර ලබා දී තිබු බවය.
පසුගිය 25 වන දින පැය තුනක විදුලි කප්පාදුවක් සඳහා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීම ද මහජන උපයෝගීතා කොමිසම ප්‍රතික්ෂේප කළ බව ජනක රත්නායක මහතා සඳහන් කළේය.
ඒ අනුව ඊයේ දිනය දක්වා පැය දෙකයි මිනිත්තු 20ක විදුලි කප්පාදුවක් සිදුකරනු ලැබීය.
කෙසේවෙතත් දිවයින පුරා ක්‍රියාත්මක දිවා කාලයේ පැයක සහ රාත්‍රී කාලයේ පැයයි මිනිත්තු 20ක විදුලි කප්පාදුව දෙසැම්බර් මස 15 වනදා දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ, දකුණ සහ ඇල්ල සංචාරක කලාප රාත්‍රී කාලයේ සිදුකෙරෙන පැයයි මිනිත්තු 20ක විදුලි කප්පාදුවෙන් නිදහස් බවය.
ලබන 15 වනදා නොරොච්චෝලේ බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය ජාතික විදුලිබල පද්ධතියට එක්කිරීමට නියමිතව ඇති බැවින් සංචාරක අමාත්‍යාංශය විසින් හඳුනාගෙන ඇති සියලු සංචාරක කලාප රාත්‍රි කාලයේ විදුලි කප්පාදුවෙන් නිදහස් වන බව අමාත්‍යවරයා පවසයි.
දිවයින පුරා රාත්‍රී කාලයේ සිදුකෙරෙන විදුලි කප්පාදුව දිනකට පැයක පමණ කාලයක් සිදුකෙරෙන අතර එළඹෙන නත්තල් සහ අලුත් අවුරුදු දිනයේ විදුලි කප්පාදුවක් සිදුනොවන බව කංචන විජේසේකර මහතා නිකුත් කළ ට්වටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන්ය.