දෙදහස් විස්සේ අගෝස්තු මස විසි නව වැනි දින සිට ඉකුත් දෙසැම්බර් පස්වැනිදා දක්වා වික්ටෝරියා ජලාශය ආශ්‍රිතව භූ කම්පන හයක් සිදු වූයේ නිධාන කතාවක් නැතිවය. තුන්මාසයක් ගතවුණ කලද ඊට නිශ්චිත නිගමනයක් නැතුවායින් දෙදහසකට ආසන්න ජනතාවක් සුව නින්දක් නොලබන පෙදෙසකි දිගන. අළුත්වත්ත , පරණ ගඟපිටිය, දිගන – ගෝණවල ආදි පෙදෙස්වල වෙසෙන ජනයා අද වන විට දෙපිලකට බෙදී වෙන්වී එකිනෙකාගේ කිල්ලෝටවල හුණු තැවරී ඇති හැටි කතා කරති. ඒ රාජ්‍ය බලධාරීන් විසින් ඔවුනගේ බිය තුරන් කිරීම පිණිස පරීක්ෂණයක් සිදු කොට ප්‍රතිඵලයක් හෝ දැනෙන ප්‍රකාශයක් කර නැති නිසාය.
වික්ටෝරියා ජලාශය යාබද අළුත්ගම අවට ප්‍රදේශය සෙලවෙන්නට පටන් ගෙන ඇත්තේ 1994 වසරේ සිටය. 2002 වසරේ තරමක් දරුණු භූ කම්පන තත්ත්වයක් ජනතාවට දැනී තිබුණද එය රිච්ටර් මාපකයේ සටහන්ව තිබී ඇත්තේ එකයි දශම එකකට ආසන්න සංඛ්‍යාත්මක අගයකටය. අනතුරුව දෙදහස් දහඅට වන තුරු භූ කම්පන තත්ත්වයක් ඇතිවූයේ නැත. ඒ නිහැඬියාව බිඳිමින් දෙදහස් දහනවයේ සිට වරින්වර වික්ටෝරියා ආශ්‍රිතව භූ කම්පන ඇති වූයේ ජනතා හදවත්වලට කුකුසක් ඇති කරමිනි.
- පළමු භූ කම්පනය දෙදහස් විස්සේ අගෝස්තු මස විසිනවැනි දා රාත්‍රි අටයි තිහට පළමු භූ කම්පනය ඇති කරමින් දිගන තෙල්දෙණිය අළුත්වත්ත ඇතුව ප්‍රදේශ රැසක ජනතාව අවිනිශ්චිත සිතුවිලිවල ගිල්වූ සොබා දහම ඊට පසුදා තිස් වැනිදා අළුයම දෙකයි දහහතටත් උදෑසන හතයි හතටත් යළි භූ කම්පන ඇති කරමින් මිනිස් සිත්තුළ කම්පනයක් ඇති කළේය. නැවත සැප්තැම්බර් දෙවැනිදා ද අළුත්ගම ආශ්රිත පොළොවේ විශාල හඬක් නගමින් සෙලවීමක් ඇති විය. අනතුරුව නොවැම්බර් එකොළොස්වැනිදා පෙරවරු නවයි විසිහතටත්, නොවැම්බර් විසිනවැනිදා පෙරවරු අටයි හතලිස් එකටත්, දෙසැම්බර් පස්වැනිදා අළුයම පහයි හතළිස් එකටත්, අළුත්වත්ත පරණ ගඟපිටිය දිගන ගෝණවල ඇසුරේ භූමිය සෙලවීමකට ලක්ව තිබිණි. මේ සියල්ල භූවිද්‍යා හා පතල් කාර්යාංශයේ භූ කම්පන මානයන්හි සටහන්ව තිබිණි. ඊට අමතරව වික්ටෝරියා වේල්ලේ ඇති භූ කම්පන පිළිබඳ අධිසංවේදි මානයන්හිද සටහන්ව තිබුණු අතර ජනතාවට නොදැනුණු තවත් කම්පන දහයකට ආසන්න සංඛ්‍යාවක් ඒ ඒ ආසන්න දිනවල සටහන්ව තිබූ බව ප්‍රධාන වේලි හා ජලාශ මෙහෙයුම් අධ්යක්ෂ රෝහණ ඇරුප්පල මහතා කියා සිටියේය. 1984 වසරේ වික්ටෝරියා වේල්ල ජනසතු සේසතක් ලෙස සමාජ ගත කළේ 1978 සිට සිදුකළ මහා ඉදිකිරීමකින් අනතුරුවය. මෙම වේල්ල ඉදිකළ සමයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය විතාන මහතා කළ ප්‍රකාශයේ සඳහන් වන්නේ මෙවන් ජලාශ ඉදිකොට වසර විසිපහක් හෝ තිහක් ගිය තැන ඒ අවට ප්‍රදේශයන්හි සුළු භූ කම්පන ඇති විය හැකි බවය. මේ සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා කියා සිටියේ, එකදිගට කම්පන වැලක් සිදුවූ විශේෂ අවස්ථාවක් බැවින් පෙර කාලේ මහාචාර්යවරු කී ප්‍රකාශ සමග යම් සබඳතාවක් ඇති බවය. අධික වර්ෂාවකට පසුව ජලය පිරුණ අවස්ථාවක මෙවන් භූ කම්පන සිදුවූ බවට සාධක ඇති බවත් අධික බර නිසා පාෂාණ තට්ටුවලට ඇති වන ආතතිය මුදා හැරීමක් ලෙස මේ කම්පන තත්ත්වය සැලකිය හැකි බවත් හෙතෙම කියා සිටියේය. ජලාශ අභ්‍යන්තරයේ පාෂාණ වලට බර දරා ගැනීමට නොහැකි වන විට ශක්තිය මුදාහැරීමක් ලෙසද මෙය හැඳින්විය හැකි අතර හුණුගල් ස්ථර අභ්‍යන්තරයේ ඇති විශාල උමං හෝ කුහරවල ආවරණ කඩා වැටීමක් ලෙසද මෙය හැඳින්විය හැකි බව මහාචාර්ය අතුල සේනාරත්න මහතා කියා සිටියේය.
- ජනතා ප්‍රශ්න අහස උසට මෙය ජනතාවගේ ගැටලූවකි. එක් අතකින් අවදානමක් ඇති බවට පෙර නිමිත්තකි. තවත් අතකට දෝලනය වන බියක් සමග ජීවිතය ගත කිරීමට උදා වී ඇති අවස්ථාවකි. ඒ උදෙසා විවිධ මත ගොඩනැගෙමින් තිබේ. විවිධ ගැටලූ උද්ගත වෙමින් තිබේ. වික්ටෝරියා ජලාශයේ තෙරපෙමින් ඇති මහා ජල කඳ හේතුවෙන් පොළොවේ අභ්‍යන්තරයේ සිදුවන නොපෙනෙන තෙරපීම මත භූ කම්පන ඇතිවිය හැකි බව එක් මතයකි. වික්ටෝරියා ජලාශය ආශ්‍රිතව පවත්වා ගෙන යනු ලබන හුණුගල් ව්‍යාපාරය හෙවත් හුණුගල් කැඞීම සඳහා බෝර දැමීමෙන් ඇතිවන පාෂාණවල අස්ථාවරභාවය මත අභ්‍යන්තර හුණුගල් ස්ථර කඩාවැටීමෙන් අතිවන කම්පනය තවත් මතයකි.
- අළු හුණුවල කුණු ගොඩක් ඒ හැරුණු කොට මේතාක් පර්යේෂණයන්ට හසු නොවුණු හෝ හිතාමතා පසෙක තැබූ තවත් ප්‍රශ්නයක් අළුත්වත්ත ප්‍රදේශයේ දක්නට ලැබිණි. විශේෂ ව්‍යාපෘතියක් ලෙස කැබිනට් අනුමැතියක් ගෙන වසර විස්සකට ආසන්න කාලයක් කැළිසකළ අංගනය ක් අතහැර දැමූ හුණුගල් වළක පවත්වාගෙන යාමය ඒ. මේ හේතුවෙන් හුණුගල් පොලවට ඇතිවන රසායනික ප්‍රතික්‍රියාවන් මත මෙවන් භූ කම්පන ඇතිවිය හැකි බවද ජනතාව දරන තවත් මතයකි. මෙවන් අත්දැකීමක් අපට මෙයට පෙර වින්ද අයුරු මතකය. ඒ මීතොටමුල්ල කුණු ගොඩ නිසාය. මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමට පෙර විවිධ ශබ්ද ඇසුණු අයුරු ද අපට මතකය. මේ සියල්ල අද වන විට ප්‍රශ්න පත්තරයක් සේ ගම්වැසියන්ගේ සිත්තුළ කැකෑරෙමින් තිබෙන්නේය. ඒ අතර මේ කියන පෙදෙස්වල ජනතාව දැඩි පීඩනයකින් පසුවන තවත් කාරණා බොහොමයක්ම වෙයි. දැනට පවත්වාගෙන යන හුණුගල් වළවල් සඳහා භූවිද්‍යා හා පතල් කාර්යාංශය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නාගරික සංවර්ධන අධිකාරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රාදේශීය සභාව, ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, මධ්‍යම පරිසර අධිකාරිය, පුපුරන ද්‍රව්‍ය පාලක පොලිසිය සහ ග්‍රාම නිලධාරි යන පිරිස් විසින් බලපත්‍ර ලබා ගෙන ඇති බව පැවසේ. එසේ නම් මෙම හුණුගල් වලවල් නීත්‍යනුකූල නොවන යන රාමුවෙන් බැහැර විය යුතුය. නමුත් ඇතැම් ගම්වැසියන් පවසන පරිදි නීත්‍යනුකූල නොවන හුණු ගල් වළවල් සහ පොළොවට දැරිය නොහැකි පරිදි බෝර දැමීම් සිදුවන්නේය. මේ පිළිබදව පරීක්ෂා කිරීම සඳහා අදාළ බලධාරීන් පැමිණෙන කල සියල්ල යටගසා රහසිගතව තම ව්‍යාපාර සිදුකරගෙන යන්නේය. මේ සඳහා ඇතැම් බලධාරීන් සහ දේශපාලන අධිකාරියේ ඇතැමුන් සහාය දක්වන බවත් ගම්මු කියා සිටිති. කැළි කසළ අංගනයත් හුණුගල් වළවල් පවත්වාගෙන යෑමත් මත මේ වන විට ගමට යන පාර අබලන්ව ඇත්තේය. සුළු වාහන යෑම සඳහා කාපට් එලා සකසා ඇති අතුරු මාර්ගයන්හි ටොන් ගණන් බර පටවා ගෙන යන ට්‍රක් රථ ලොරි සහ නිතර දෙවේලේ මහනුවර නගර සභාව හා පූජාපිටිය තෙල්දෙණිය කුණ්ඩසාලේ ඇතුළු ප්‍රාදේශීය සභා හරහා පැමිණෙන කුණු ට්‍රැක්ටර් නිසාත් පාර පළුදුව ඇත. පාර දෙපැත්තේ එලා ඇති ජල නළ දිනපතා බිඳීයෑමෙන් ජලය අපතේ යෑම ඇති පදමට සිදුවන බවට සාධකද දක්නට ඇත්තේය. හුණු ගල් ව්‍යාපාරය හේතුවෙන් ශබ්ද දූෂණය සිදුවන්නේ නිතර ගල් ක්රෂරයෙන් බිඳින බැවිනි. බෝර දමා පොලව සොලවන බැවිනි. අනතුරුව හුණු ගල් පිටිකර සිය ව්‍යාපාර පවත්වාගෙන යෑමට දරන උත්සාහයෙන් ගම්වැසියන් දූවිල්ලෙන් වැසී යන්නේය. ඒ හේතුවෙන් ස්වසන ආබාධයන්ට දරුවන් මහලූ උදවිය පමණක් නොව තරුණයන්ද නතුව සිටිති. ඊට හොඳම සාක්ෂි සපයන්නේ තෙල්දෙණිය සහ මහනුවර රෝහල්වල ස්වසන රෝග පිළිබඳ සායනයන්හි ලියාපදිංචිව ඇති මෙම පෙදෙස්වල වෙසෙන ජනතාවගේ වාර්තාය. මේ වන විට මෙම රෝහල් දෙක ඇසුරෙහි ඇති අළුත්ගම, දිගන, තෙල්දෙණිය, රජවැල්ල ආශ්රිත ජනතාව සංඛ්‍යාත්මකව හයසියය ඉක්මවා සිටි. භූ කම්පනයට එහා ගිය ජනතා ගැටලූ රැසක් සමග යළිත් වරින් වර ඇතිවන කම්පන හඬ සහ පොළව සෙලවීම් ඔස්සේ සෙසු ප්‍රශ්න යටගොස් භූමිකම්පා පිළිබඳව ජනතාවට යළිත් බිය පැමිණ ඇත. වික්ටෝරියා වේල්ල සම්බන්ධයෙන් මිලියනයට එකක් වන අවදානමක් ඇති බවට මහාචාර්යවරුන්ගේ මත පළවීම සමග ජනතාව සැනසිල්ලේ නිදා ගන්නේ නැත.
- වසර තිහකින් වික්ටෝරියාව බිදෙයිද? මේ අතර වික්ටෝරියා වේල්ල වසර තිහක් පැරණි බැවින් භූ ස්ථායිතාවය පරීක්ෂා කළ යුතුව තිබෙන බව ප්‍රධාන වේලි හා ජලාශ මෙහෙයුම් අධ්යක්ෂ රෝහණ ඇරුප්පල මහතා ඉකුත් දා කියා සිටියේය. ඊට අදාළ සැලසුම් අනුව ඉදිරියේදී තත්ත්ව පරීක්ෂාව සඳහා සියල්ල සූදානම් කර තිබෙන බවත් වික්ටෝරියා වේල්ල අන්තර් ජාතික ප්‍රමිතිකරණයට ලක්ව ඉදිකොට ඇති බවත් ඔහු කීය. පසුගිය දිනවල දිගන හා ඒ ආශ්රිත ප්‍රදේශ වල ඇතිවූ කම්පන ඉතාමත්ම සුළු ඒවා බැවින් ඒවායින් කිසිදු බලපෑමක් වේල්ලට නොමැති බවට සහතික විය හැකි බව ඔහු කියා සිටීම මත ජනතාවට තරමක අස්වැසිල්ලක් ලැබුණා විය යුතුය. ඒ පමණක් නොව, දිගන ආශ්‍රිතව පසුගිය දිනවල ඇතිවූ භූ කම්පන වලින් වික්ටෝරියා ජලාශය ඇතුළු කිසිදු ප්‍රධාන ජලාශයකට බලපෑමක් සිදුව නොමැති බවත් ඒ සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇතිකර නොගත යුතු බවත් ඔහු කීය. වික්ටෝරියා වේල්ල භූ කම්පන සම්බන්ධව විශේෂ අධ්‍යන්‍යයක් කරමින් ඒවාට ඔරොත්තු දෙන ආකාරයට ඉදිකර තිබෙන බවට විශේෂඥ මතය වුවද මෙහි පැරණි බවත්, වික්ටෝරියා වේල්ල සජීවි චලනයන් සහිත වේල්ලක් වීමත් මත අවදානමක් ඇතිය යන කුකුස ජනහදවත්වල ඇත්තේය. මෙම කම්පන වල වගකීම කරට ගන්නා රාජ්‍ය නිලධාරියා භූ විද්‍යා හා පතල් කාර්යංශයය. එමගින් දිගන ආශ්‍රිතව සිදුවූ භූ කම්පන සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අමාත්‍යාංශ ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් කමිටුවක් පත්කර තිබෙන්නේය. භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ අධ්යක්ෂ ජනරාල් සංජන ද සිල්වා මහතා පැවසූ පරිදි ශ්‍රී ලංකාව තුළ භූ කම්පන මාන හතරක් මේ වන විට ස්ථාපිත කර ඇත. පල්ලේකැලේ, හක්මන, මහකනදරාව සහ බුද්දංගල යන ප්‍රදේශවල මෙම භූ කම්පන මාන සවි කොට ඇති අතර ඒ පිළිබඳව නිතර අවධානය යොමු කරන බව ඔහු කියා සිටියේය. ඒවායින් වඩාත් නිවැරදි ආකාරයේ තොරතුරු ලබා ගැනීමේ හැකියාව තිබෙන බවත් ඔහු ජනතාවට අවධාරණය කළේය. ඒ කුමක් වුවත් අදවන විටත් මෙලෙස භූ කම්පන සිදුවන හේතුව නිශ්චය ලෙසම කිසිවකු නොදනී. දැන් අවැසිව ඇත්තේ ඒ පිළිබඳව පුළුල් ලෙස පරීක්ෂණයක් කිරීමය. එසේ නොවුණහොත් යළිත් භූ කම්පන ඇති වූ විට සරමෙන් මුහුණ වසා ගන්නට සිදුවන්නේ මේ කමිටු සාමාජිකයන්ටය. රාජ්‍ය නිලධාරීන්ටය. මේ රටේ ගැටලූවක් මතු වූ කල එය විසඳීමට අවැසි බුද්ධිමත් දායකත්වයක් සඳහා ඇති තරම් ආචාර්ය මහාචාර්යවරු සිටිති. තීරණ ගැනීම සඳහා මහජන නියෝජිතයන් ලෙස දේශපාලන දායකත්වය ද ඇත. නමුත් මේ දෙපිරිස එක්ව කිසිදාක රටේ ජනතාවගේ පීඩාවට විසඳුම් ගෙන ආ බවක් අප දැක නැත. යම් තරමකින් හෝ එක්ව රටේ දේපළ නැති කරන්නට නම් හවුල් වූ අවස්ථා දැක ඇත. දිගන, තෙල්දෙණිය, අළුත්වත්ත ඇතුළු තදාසන්න පෙදෙස්වල කම්පනයට විසඳුම් සෙවීමද එපරිදිය. මහා විනාශයක් සිදුවී සියල්ල වැලලී ගිය දාක යළි කමිටු පත්කොට ජනතා බදු මුදල් වැය කරමින් ඊට හේතු සාධක සෙවීමට අපේ ආණ්ඩු පුරුදුව සිටිති. කිසිදාක ඉපදෙන්නට සිටින දරුවකුට කේන්දර හදන්නේ නැත. ඉපදී සිටින දරුවාගේ කේන්දරය බලා ග්‍රහදොස් අපල උපද්‍රව ඇත්නම් ඒවා දූරීභූත වන පරිදි පුද පූජා පැවැත්වීමට කටයුතු යෙදීම සිරිතය. වික්ටෝරියාව ඇසුරෙහි පවතින ගැටලූවද එපරිදිමය. දැන්වත් විසඳුමකට නොආවොත් සිදුවන්නේ සැමට එකට වැලලී යෑමටය.
සමන්තී වීරසේකර
දිවයින ඉරිදා සංග්‍රහය