පොල්ගස්දුව ආරණ්‍යයේ භාවනායෝගීව වැඩවසන සුදු හාමුදුරුවන් ගැන නොදන්නා කෙනෙක් නැති තරම්ය. උන්වහන්සේ සෑම දිනකම පාහේ හිමිදිරියේ ඔරු කඳක නැඟී රත්ගම කළපුව වටා ඇති තොටුපොළවල්වලට වැඩම කොට පිණ්ඩපාත චාරිකාවේ නිරත වෙති. සුදු හාමුදුරුවෝ පිඬු සිඟා වැඩීම සඳහා එක් තොටුපොළකට වැඩම කරන්නේ සතියකට එක් දිනකි. උන්වහන්සේ සතියේ දින බෙදාගෙන තොටුපොළවල් වලට ගොස් පිඬු සිඟා වඩිති. උන්වහන්සේ තොටුපොළට වැඩම කරනතෙක් දායකයන් ද පෙරමඟ බලා සිටිති. උන්වහන්සේට සිංහල භාෂාව එතරම් කතාබස් කිරිමට නොහැකි වුවද තෙරුවන් සරණයි; සුබ උදෑසනක් වේවා යනුවෙන් දායකයන්ට ආමන්ත්‍රණය කරති.
හිමිදිරියේම පිඬුසිඟා වැඩිම සඳහා වැඩම කරන සුදු හාමුදුරුවෝ උදැසන හත අට පමණ වනවිට නැවත තම භාවනා කුටියට වැඩම කරති. කළපුව ආසන්නයෙම උන්වහන්සේ වැඩසිටින භාවනා කුටිය පිහිටා ඇත්තේය. උන්වහන්සේ සිත දියුණු කරගැනීම සඳහා විවිධ භාවනා ක්‍රම පිළිබඳ අධ්‍යයනය කරමින් කටයුතු කරන සිල්වත් හිමිනමකි.
සුදු හාමුදරුවන්ගේ උපන් රට නෙදර්ලන්තයේය. උන්වහන්සේ නෙදර්ලන්තයේ ජිනවංශ නමින් 19 හැවිරිදි වියේ දි පැවදි බිමට පිවිසෙති. ජිනවංශ සුදු හාමුදුරුවෝ පැවිදි දිවියට පත්වන්නේ තායිලන්තයේ දීය.උන්වහන්සේ ජිවිතයේ වැඩිකාලයක් භාවනායෝගීව තායිලන්තයේ වැඩ වාසය කරමින් සිටියෝය. ජිනවංශ සුදුහාමුදුරුවන්ට චතුර ලෙස තායි භාෂාව කතා කළ හැකිය. නිස්කලංක පරිසරයට උන්වහන්සේ දැඩි ලෙස ඇලුම් කළහ. ජිනවංශ සුදු හාමුදුරුවෝ 2007 වර්ෂයේ දී මෙරටට වැඩම කළහ. මේ අතර උන්වහන්සේට පොල්ගස්දුව ආරණ්‍ය සේනාසනය ගැන දැන ගැනිමට ලැබුණි. 2011 වර්ෂයේ දී උන්වහන්සේ පොල්ගස්දුව ආරණ්‍යයට වැඩම කළහ. පොල්ගස්දුව ජනීජනයාගෙන් වෙන්වී භාවනායෝගිව වැඩ සිටීම සඳහා කදිම පින්බිමක් බවට උන්වහන්සේට අවබෝධ විය. ජිනවංශ සුදු හාමුදුරුවෝ පොල්ගස්දුව ආරණ්‍යය භාවනායෝගීව වැඩසිටීම සඳහා තොරාගන්නේ එහි ඇති සුන්දරත්වය හා නිස්කලංක බව මෙන්ම පිණ්ඩපාත වැඩීම සඳහා සුදුසු ස්ථානයක් නිසාය. මෙකී ආරණ්‍ය සෙනසුනේ ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමියන් පවා වැඩ සිට ඇති අතර, අදටත් දෙස් විදේස් භික්ෂුන් වහන්සේලා ත්‍රිපිටක ධර්මය අධ්‍යයනය කරමින් භාවනායෝගීව වැඩ වසති. පොල්ගස්දුව ආරණ්‍ය සේනසුනෙන් ප්‍රදේශවාසීන්ගේ අාධ්‍යාත්මික සංවර්ධනය සඳහා ඉටුවන්නේ සුවිශේෂ වූ කාර්යභාරයකි.
පොල්ගස්දුව ආරණ්‍ය සේනාසනය රත්ගම කළපුවේ දුපතක පිහිටි පින්බිමකි. රත්ගම කළපුවේ සුන්දරත්වය දෙගුණ තෙගුණ වන්නේ මෙකි පින්බිම නිසාවෙනි. අක්කර හතරහාමාරක වපසරියකින් යුත් භුමියක පිහිටා ඇති මෙකී ආරණ්‍ය සේනාසනය නිල්වන් අහස්තලය මත පිහිටි රුක්ගොමුවක් වැනිය. ගැමිකම, ගැමි සුන්දරත්වය තවමත් මෙහි රැඳී ඇත්තේය. මෙකී පින්බිම ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධියට පත් පින්බිමකි. වසර සියයක ඉතිහාසයකට උරුමකම් කියන පොල්ගස්දුව ආරණ්‍ය ස්විස්ටර්ලන්ත ජාතිකයකු විසින් රන්පවුම් 75කට මිලදී ගෙන ඤාණාතිලෝක හිමියන් වෙත පූජාකොට ඇත්තේය. පොල්ගස්දුව ආරණ්‍යයේ ආදි කර්තෘ වරයාණන් වහන්සේ ඥාණාතිලෝක හිමියන්ය. උන්වහයන්සේ ජර්මන් ජාතිකයෙකි.
ජිනවංශ සුදුහාමුදුරුවෝ වසර 09කට අධික කාලයක් මෙකී පින්බිමේ බවුන් වඩමින් සිටියහ. උන්වහන්සේ ගත කරනු ලැබුවේ අල්පේච්ඡ දිවිපෙවතකි. උන්වහන්සේ සසර කතරින් එතරවීම සඳහා දවසේ වැඩිකාලයක් තම කුටියට වී භාවනායෝගීව වැඩ සිටියහ. සුදු හාමුදුරුවෝ වැඩි කතාබහක් නැති හිමිනමකි. අනික් කුටිවල වැඩවසන හිමිවරුන් පවා හමුවූයේ විනය කර්ම සිදු කළ දිනවල හා පෝය දිනවල පමණි. කොටින්ම කිවහොත් උන්වහස්සේ වනවාසී දිවි පෙවතවක් ගත කළ හිමිනමකි. පිණ්ඩපාත චාරිකාව සඳහා වැඩම කරන ඇතැම් අවස්ථාවලදී උන්වහන්සේ අවට විහාරස්ථානවල හිමිවරුන් සමඟ වචනයක් දෙකක් කතා කිරීමට ද අමතක නොකළහ. ඒ විතරක් නොව උන්වහන්සේ පිඬුසිඟා වඩින අවස්ථාවකදී දායකයකු විසින් බිස්කට් පැකැට්ටුවක් පූජා කළවිට උන්වහන්සේ බිස්කට් පැකැට්ටුවම ලබා නොගෙන ඉන් බිස්කට් දෙන තුනක් ලබා ගනිති. පිඬු සිඟා වැඩීමට කළපුව හරහා ගමන් කිරීම සඳහා උන්වහන්සේට ඔරුකඳක් තිබු අතර ඒ ඔරුකඳ කුටිය අසල ගැටගසා තිබුණි. මිට දින දෙක තුනක සිට උන්වහන්සේ පිණ්ඩපාත චාරිකාවේ යෙදෙන අවස්ථාවේ දී වැඩම කරන ඔරුකඳ පොල්ගස්දුව ආරණ්‍යයට ආසන්නයෙන් ඇති පරක්කුදුව දූපත අසල පාවෙමින් තිබුණි. සුදු හාමුදුරුවෝ පිහිනිමට දක්ෂ හිමිනමකි. ඔරුකඳ ගසාගෙන ගොස් පාවෙමින් තිබෙන අවස්ථාවලදී උන්වහන්සේ පිහිනා ගොස් ඔරුකඳ යළි භාවනා කුටිය අසලට රැගෙන විත් ගැට ගසති. මේ නිසා උන්වහන්සේ භාවනායෝගීව කුටිය තුළ වැඩවසන බවට අනිකුත් හිමිවරු විශ්වාස කළහ.
මේ අතර සුදු හාමුදුරුවන්ගේ මෘත දේහය පසුගිය අගහරුවාදා පරක්කුදුව දුපත අසල තිබි සොයාගනු ලැබීය. ඒ වනවිටත් උන්වන්සේගේ මෘතදේහය නරක් වී තිබුණි. මෙකී හිමිනමගේ මෘතදේහය ගොඩගන්නා අවස්ථාවේ පාද දෙකේ ලණුවකින් ගල්දෙකක් ගැට ගසා තිබු අතර එක් පාදයක ගැට ගසා තිබු ගලක් ගැලවි ගොස් තිබුණි.
සුදු හාමුදුරුවන්ගේ අභිරහස් මරණය පිළිබඳ මේ වනවිට භික්ෂු සමාජය අතර මහත් කැලඹීමට හේතුවී ඇත්තාහ. පොල්ගස්දුව ආරණ්‍ය සේනාසනාධිපති රජ්ගම විවෙකවිහාරි හිමියන් පැවසුවේ මෙවැන්නකි.
මට හිතාගන්න බැහැ; මොකක්ද මේ හාමුදුරුවන්ට වුණේ කියලා. මේ සුදු හාමුදුරුවෝ කුටියට වෙලා බණ භාවනා කරමින් විවේකීව ගත කළ හිමිනමක්. උන්වහන්සේ අපිට හමුවන්නේ පෝය දිනවලදී නැතිනම් විනය කර්මයක් සිදුකොට ආරෝචන කරන අවස්ථාවකදී පමණයි. විදුලිය නැති ඇතැම් අවස්ථාවලදී උණුවතුර රැගෙන යන්න සංඝාවාසය වෙත වැඩම කරනවා. මේ හාමුදුරුවන්ගේ ඔරුව කළපුවේ පාවෙමින් තිබෙන බව මට දැන ගන්නට ලැබුණා. පසුව ආරණ්‍ය සේනාසනයේ ඉන්න ළමයකුට මා කීවා උන්වහන්සේගේ කුටිය වෙත ගොස් මේ ගැන දැනුම් දෙන්න කියලා. නමුත් උන්වහන්සේ ප්‍රතිචාර දක්වලා තිබුණේ නැහැ. අපි හිතුවා උන්වහන්සේ එගොඩට වැඩම කරන්න ඇති කියලා. පසුදින විනය කර්මයක් තිබුණා සිමාවේ. සීමාවට ගොස් අපි විනය කර්මය කළා. විනය කර්මය කළ විට ආරණ්‍යයේ වැඩවසන භික්ෂූන්ට දන්වන්න අවශ්‍යයිනේ. මේ සුදු හාමදුරුවන්ට විනය කර්මය ගැන දැන්වීමට ගිය විටදිත් කුටිය තුළ ඉඳලා නැහැ. ඔරුවේ ගැන සොයා බලන විට එහි හබල තිබුණා.
පසුව මේ ගැන මා රත්ගම පොලිස් ස්ථානාධිපතිවරයා දුරකථනයෙන් දැනුම්වත් කොට පැමිණිල්ලක් දැමිමට කටයුතු කළා. උන්වහන්සේ වැඩහිටපු කුටියේ පාත්තරය විසිවෙලා තිබුණා. පසුව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් ආවා. ඇවිත් උන්වහන්සේ වැඩසිටි කුටිය පරික්ෂා කළා. පිණ්ඩපාතය සඳහා උන්වහන්සේ අසල දුපතක පිහිටි හෝටලයක් වෙත වැඩම කරනවා.
අපි ඒ පොලිස් නිලධාරින් සමඟ එම ස්ථානයට ගිහින් සුදු හාමුදුරුවන් ගැන සොයා බැලුවා. උන්වහන්සේ මීට දින තුනකට පෙර පිණ්ඩපාතය සඳහා වැඩම කළා. පිණ්ඩපාතය කරගෙන යළි බෝට්ටුව වැඩම කරලා ආපසු හැරිලා ඇවිත් කොරෝනාවල රෝග ලක්ෂණ ඇසුවා කියලා හෝටලයේ මහත්තයා කීවා. පසුව අපි සුදුහාමුදුරුවන්ගේ ඔරුව තියෙන තැනට ආවා. ඔරුව අසල උන්වහන්සේගේ දේහය පාවෙලා තිබෙනු දැක්කා. එක් පාදයක ගලක් ගැට ගසා තිබුණා. අනික් පාදයේ ගැට ගසා තිබු ගල ගැලවී තිබුණා. අත්දෙක ගුලිකරගෙන හිටියේ. මා වසරක් පාසා උන්වහන්සේගේ වීසා බලපත්‍රය අත්සන් කරලා දුන්නා. මේ සිද්ධියෙන් පසු උන්වහන්සේගේ සමකාලීන හිමිනමක් වන නෙදර්ලන්ත ජාතික අසාන්මේදි නෝ හිමියන් ආරණ්‍යයට වැඩම කළා. උන්වහස්සේ අපේ හාමුදුරු කෙනෙක් සමඟ කීවා මීට වසර 20කට පෙර මේ හාමුදුරුවන් විසාදය නැමති අසනීප තත්ත්වයකින් පෙළුනා කියලා. එකත් අපි දැන ගත්තේ ඒ හාමුදුරුවන්ගෙන් යැයි රජ්ගම විවෙකවිහාරි හිමියන් කීහ.
නෙදර්ලන්ත ජාතික ජිනවංශ හිමියන්ගේ අභිරහස් මරණය පිළිබඳ භික්ෂු සමාජය පමණක් නොව දායක දායිකාවන් ද දැඩි කැලඹීමට පත්ව සිටිති. උන්වහන්සේ වැඩි කතාබහ නොකරන හිමිනමක් වුවද ධර්මයට ආදාළ ගැටලුවක් පිළිබඳ උන්වහන්සේගෙන් විමසූ විට ඒ සඳහා නොපැකිළිව පිළිතුරු ලබා දුන්හ. සුදු හාමුදුරුවෝ භාවනාව සම්බන්ධයෙන් ආධ්‍යාත්මික වශයෙන් හොඳින් අධ්‍යයනය කළ හිමිනමකි. සැබවින්ම මේ සුදු හාමුදුරුවන්ගේ මරණය සිදුවුයේ කෙසේද? උන්වහන්සේ දියේ ගිලි මිය ගියාද,? නැතිනම් කිසිවකු විසින් දියේ ගිල්වා මරණයට පත්කළාද යන්න පිළිබඳ සොයා බැලීම සඳහා මේ වනවිට පුළුල් විමර්ශනයක් ආරම්භ කොට ඇත.
මෙකී සුදු හාමුදුරුවන්ගේ පශ්චාත් මරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය වෛද්‍ය පිඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ජානකී වරුෂා හැන්නදි විසින් සිදු කළාය. පශ්චාත් මරණ පරික්ෂණයකින් බලාපොරොත්තුවන්නේ මරණයට හේතුව සොයාගැනීමයි. පශ්චාත් මරණ පරික්ෂණයේ දි ලබා දී ඇත්තේ විවෘත තීන්දුවකි. මෙකී සුදු හාමුදුරුවන්ගේ මළ සිරුර හමුවී ඇත්තේ දින දෙකකට පසුව වන අතර මළ සිරුර සාමාන්‍ය වශයෙන් නරක් වී තිබූ බව පශ්චාත් මරණ පරික්ෂණයේ දී අනාවරණය වී ඇත. සුදුහාමුදුරුවන්ගේ සිරුරේ අභ්‍යයන්තරයේ තුවාල නොතිබූ බව පශ්චාත් මරණ පරික්ෂණයේ දී අනාවරණය වී ඇති අතර උන්වහන්සේ මියගිය ආකාරය පිළිබඳ සොයාගැනීම සඳහා සිරුරේ ඉන්ද්‍රයන් හා අක්මා කොටස් මෙන්ම රුධිර සාම්පල් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකිරීමට කටයුතු කරනු ලැබීය. පශ්චාත් මරණ පරික්ෂණය සිදුකිරීමට පෙර පි.සි.ආර් පරික්ෂණයක් ද සිදුකොට ඇති අතර උන්වහන්සේට කොරෝනා වයිරසය ආසාදනය වී නැති බවට අනාවරණය වී ඇත.
සුදු හාමුදුරුවන්ගේ මරණයට හේතුව සොයා ගැනීමට රස පරික්ෂක වාර්තාව එනතෙක් බලාසිටීමට සිදුවනු ඇත.
ලලිත් චාමින්ද – ගාල්ල