ලෝ පුරා දේවස්ථානවල නාදවන සීනු හඬ සමගින් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරණ අසිරිමත් නත්තල අද උදාවේ. කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ සහභාගිත්වයෙන් අද (25 වැනිදා) පෙරවරු 8.30ට බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දෙව් මැදුරේදීද දේව මෙහෙයක්ද පැවැත්වේ. මෙම දේව මෙහෙයන් රූපවාහිනී නාළිකා ඔස්සේ සජීවීව විකාශය කිරීමට කටයුතු යොදා තිබේ.
ඊට අමතරව තවත් දේව මෙහෙයන් කීපයක් අද රූපවාහිනී නාළිකා ඔස්සේ විකාශය කෙරේ. පවතින කොවිඩ් වයිරස් තත්ත්වය හමුවේ තම නිවෙස්වල සිට එම සජීවී විකාශයන් හා එක්වන ලෙස කාදිනල් හිමියෝ බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිති.
එමෙන්ම සෙසු දේවස්ථානවලද නත්තල් දේව මෙහෙයන් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව පැවැත්විය යුතු බවට සියලුම කතෝලික පියතුමන්ලාට කාදිනල් හිමියන් දන්වා ඇත.
ඒ අනුව අද පවත්වන දේව මෙහෙයන් සඳහා වරකට සහභාගී විය හැක්කේ බැතිමතුන් පනස් දෙනෙකුට පමණි.
සාද සහ උත්සවවලින් තොරව නිවසේ සාමාජිකයන් සමග පමණක් නත්තල සමරන ලෙස කිතුණු භක්තිකයන්ගෙන් ඉල්ලීමක් කරන කාදිනල් හිමියෝ කොවිඩ් වසංගතය නිසා අසරණව සිටින නැති බැරි ජනතාවට උදව් උපකාර කිරීමට මෙවර නත්තල යොදා ගන්නා ලෙසද ඉල්ලා සිටිති.